FCID ප්‍රධානියාගේ සේවා දිගුවට කැබිනට් අනුමැතිය

FCID ප්‍රධානියාගේ සේවා දිගුවට කැබිනට් අනුමැතිය

පොලිස් මුල්‍ය අපරාධ විමරශන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාට සේවා දිගුවක් ලබාදීමට අද (09) පැවති කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව රවී වෛද්‍යාලංකාර මහතාගේ සේවය කොන්ත්‍රාත් පදනම යටතේ තවත් වසර කාලයක් සඳහා දීරඝ කර තිබේ.

මැයි මස 14 වැනිදාට ඔහුගේ සේවා කාලය සම්පූර්ණ වීමට නියමිත වේ. රවී වෛද්‍යාලංකාර මහතාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් සහ අල්ලස් කොමිසමෙන් විමර්ශන පැවැත්වෙන බැවින් ඔහුගේ සේවය අවසන් කිරීමට පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර තිබේ. ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම ජාතික පොලිස් කොමිසම විසින් හෙට (10) දිනය දක්වා කල්දමා ඇත.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා 1979 වසරේ ඔක්තෝබර් මාසයේදී පොලිස් සේවයට බැඳුණු අතර 2015 මාර්තු මාසයේදී ඒ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කෙරිණි.

lankanewsweb

Facebook
Twitter
LinkedIn