තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී ජනතා මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ වන නඩුව ජුලි 20 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (23) නියෝග කර තිබේ.
ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් හා මෙම නඩුවට අදාළව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් වලක්වා අභියාචනාධිකරණය විසින් ලබන 27 වනදා තෙක් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබා දී තිබූ අතුරු නියෝගය අනුව මෙම නඩුව මෙලෙස කල් දමා ඇත.
ඒ අනුව ලබන 26 වනදා අභියාචනාධිකරණයේ අදාළ පෙත්සම පිළිබඳ විභාගයෙන් පසු මෙම නඩුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.










