අල්ලස් ගත් විදුහල්පතිනියට බරපතල සිර දඬුවම්

මාතලේ ප්‍රදේශයේ පාසලක පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීම සඳහා 2014 වර්ෂයේදී අල්ලස් ලබා ගත් එම විදුහලේ විදුහල්පතිනියට කොළඹ මහ අධිකරණයේදී අද (23) බරපතළ වැඩ සහිතව වසර 05ක සිර දඬුවමක් ලබා දී තිබේ.

මාතලේ දී මාතලේ විජය විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී 2014 පෙබරවාරී මස 08 වැනිදා එම විදුහලේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා දරුවාගේ පියාගෙන් රුපියල්  ලක්‍ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ 1 1/2ක් ලබා ගන්නා ලදැයි චෝදනා හතරක් යටතේ විත්තිකාරියට එරෙහිව  අල්ලස්  කොමිසම විසින් නඩු පවරා තිබිණි.

අල්ලස් ගැනීම සමාජය වෙළාගත් පිළිලයක් බවට පත්ව ඇතැයි කී අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ චන්ද්‍රිකා ජයසේකර මහත්මිය සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකාරියට නියම කරන්නැයි ඉල්ලා තිබේ.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකාරියට එක් චෝදනාවකට වසර 05 බැගින් චෝදනා හතරට වසර 20ක සිරදඬුවමක් නියම කර එය වසර 05ක කාලයකින් ගෙවෙන ලෙස නියම කර ඇති අතර විත්තිකාරියට එක් චෝදනාවකට රුපියල් 5,000/- බැගින් චෝදනා හතරට රුපියල් 20,000/-ක දඩයක්ද නියම කර ඇත.

Facebook
Twitter
LinkedIn