ඔබේ ‘නාට්‍ය නිෂ්පාදන’ භූමිකාව ගැන කතා කළොත්…
වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා අවුරුදු 40ක් විතර. රංගන ශිල්පියකු ලෙස තමයි වේදිකාවට අවතීර්ණ වුණේ. පාසල් කාලයේ සිට වේදිකාවට ඇල්මක් ඇති වුණා. රංගන ශිල්පියකු වීමේ සිහිනය කලා ජීවිතය පුරාම තිබුණා. රංගනයට අමතරව නාට්‍ය කලාවේ අනුෂාංගික අංශ කෙරෙහි යොමු වුණා. ආර්ථික අපහසුතාවලට ලක්වෙමින් වෙනත් රැකියාවක් නොකර නාට්‍ය කලාව සමඟ සිටියේ නාට්‍ය කලාවට ඇති කැමැත්ත නිසාමයි. ‘බිසෝ’ කියන නාට්‍ය සංවිධානය කළේ මම. ඉන් පසුව සංවිධාන අංශයට වැඩි කාලයක් යොමු කරන්න හිතුවා. දැනටමත් මම ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ නාට්‍ය සංවිධායකවරයකු හැටියට තමයි.
වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න හිතුවේ ඇයි?
නාට්‍ය සංවිධානයත් එක්ක ගොඩක් නාට්‍ය නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නිර්මාණත් එක්ක දැනුණා අධ්‍යක්ෂණය කියන්නේ මොකක්ද කියන එක. රංගනය පැත්තෙන් ශිල්පියෙක් කොහොමද වේදිකාවට නිර්මාණය කරන්නේ කියන කාරණය. රංගන ශිල්පියෙක් කියන්නේ සුවිශේෂී චරිතයක්. ඔහුගේ සාමාන්‍ය සමාජ ජීවිතයේ තියෙන චරිතාංග ලක්ෂණ උපයෝගී කරගෙන ඔහු වේදිකාවේ රංගනයකට යොදා ගන්නේ කියන එක අවබෝධයක් ලබා ගත්තා. ඒ සියලුම දේවල් අත්දැකීමක් කොටගෙන තමයි නාට්‍යයක් කරන්න ඕනෑ කියලා හිතුවේ. ඒ සිහිනය සැබෑ කරගන්න දැන් සූදානම් වෙලා ඉන්නවා.
අලුත් නාට්‍ය පරිවර්තනයන්ද? ස්වීය රචනයන්ද?
කපිල කුමාර කාලිංගගේ ස්වීය නාට්‍ය රචනයක්. නාට්‍ය ‘කොළඹ පාර’ එහි පුහුණුවීම් කටයුතු සාර්ථකව මේ දිනවල කරගෙන යනවා. මාර්තු මාසයේ අග භාගයේදී වගේ වේදිකාවට ගේන්න සූදානමක් තියෙනවා.
ජනක කුඹුකගේ, ගීතා කාන්ති, ජෙහාන් ශ්‍රී කාන්ත් අප්පුහාමි, ජයන්ත මුතුතන්ත්‍රි, ලංකා බණ්ඩාරනායක, සුනිල් සන්තප්ප්‍රිය වැනි රංගන ශිල්පීන් රාශියක් සම්බන්ධ කරගෙන ඉන්නවා. මේ නාට්‍යයේ පෙළ ඉල්ලා සිටින සංගීතය පැත්තෙන් සුවිශේෂී මෙහෙවරක් ලබාගැනීමට පුළුවන් කියන සිතුවිල්ලෙන් නවරත්න ගමගේ මහතා සංගීත අධ්‍යක්ෂණයට දායක කරගත්තා. ඇඳුම් ආයිත්තම් නිර්මාණය කිරීම සුවිනීතා පෙරේරාගෙන්.
නාට්‍යයේ අන්තර්ගතය ගැන කීවොත්?
සමාජ ප්‍රශ්නයක් ගැන මෙහිදී කතා කරන්නේ. අධිවේගී මාර්ග ඉදිකිරීම ආශ්‍රිතව ඇතිවන සමාජ ගැටලු එක්ක කතාව දිගහැරෙනවා. සමාජ ආර්ථික රටාව ඇතුළේ සංවර්ධනය කොතරම් සිදුවුණත් ඒක පවතින සමාජ රටාවත් එක්ක සංවර්ධනයක් වෙනවාද කියන ගැටලුවක් තියෙනවා. ඒක මෙහිදී කතා වෙනවා. ඒ තරමට කීවොත් ඇති මේ වෙලාවේ. නාට්‍ය ඇවිත්ම බලන්න කියලා ආරාධනා කරනවා.
මේ නාට්‍යය හාස්‍යයට නැඹුරුද?
මම හිතනවා අද සමාජයේ අනිත් ක්ෂේත්‍රවල වගේම වේදිකා නාට්‍ය කලාව ඇතුළේ ලොකු පිරිහීමක් තියෙනවා. අද සාහිත්‍ය අත්විඳීමට වඩා ඒවායේ විකෘතියක් තමයි රසවිඳින්න පෙලඹිලා තියෙන්නේ. ඒක හින්දම තමයි අද වේදිකා නාට්‍ය කලාව පරිහානියට පත්වෙලා තියෙන්නේ. එවෙලේ මිනිසුන් ඉල්ලන, හාස්‍ය උපදවන මොනවා හරි දෙයක් වස්තුබීජය කරගෙන නාට්‍යයක් නිර්මාණය කරන්නයි උත්සාහ කරන්නේ. හාස්‍ය නැත්නම් නාට්‍යයක් සමාජගත වෙන්නේ නැහැ කියන තැනටම අද පත්වෙලා.
මේ වගේ තත්ත්වයක් උඩ නිර්මාණයක් රසවිඳින්න ප්‍රේක්ෂකයෙක් ගෙන්වා ගන්නා එක පහසු වෙන්න බැහැ?
ඒක ලොකු අභියෝගයක් බවට පත්වෙලා. ලංකාවේ වේදිකා නාට්‍ය කලාව ගත්තහම 60 – 70 දශකවලට වඩා විශාල පරාසයක විහිදිලා. ඒක පාසල් අධ්‍යාපනයට පවා ඇතුළු වෙලා. එහෙත් ඒ පරාසය නාට්‍ය ක්ෂේත්‍රය ඇතුළේ පුළුල් වෙලා නැහැ. හොඳ නිර්මාණ කරන්න අවශ්‍ය කිසිම පහසුකමක් නැහැ. රඟහල්, පුහුණුවීම් ශාලා පහසුකම්, ප්‍රාදේශීය මට්ටමේ රඟහල්වල පහසුකම් කිසිම දෙයක් නැහැ. කිසිම ආණ්ඩුවක් මාධ්‍යයක් විදියට ප්‍රවර්ධනය කරන්න කටයුතු කරලා නැහැ. ඒ නිසාම කලාව අභාවයට යන මට්ටමකුත් තියෙනවා. ඓතිහාසිකව ගත් විට රූකඩ කලාව විනාශ වෙලා යනවා. තාක්ෂණික දියුණුව, සමාජ විපර්යාස සමඟ රූකඩ කලාව විනාශ වෙලා ගිහින්. ඒ වගේම වේදිකා නාට්‍ය කලාවටත් මේ යන විදියට කවදාහරි රූකඩ කලාවට අත් වූ ඉරණම අත්වෙයි කියලා.
මේ අභියෝග හමුවේ අලුත් නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නේ කොහොමද?
අපට තියෙන උණ නිසා තමයි. සමාජයේ බොහෝ දෙනකුට තියෙන්නේ ඇබ්බැහිකම්නේ. ඇබ්බැහිකම්වල හොඳ ඇබ්බැහි වීම් වගේම නරක ඇබ්බැහිවීමුත් තියෙනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඇබ්බැහි වෙනවාට වඩා මේ වගේ සාහිත්‍ය කලාව රසවින්දනය කරන එක හොඳයිනේ. නාට්‍ය කලාව කියන්නෙත් මට ඇබ්බැහියක්.
මව්බිම










