යාපනය වසරේ මානිප්පායි ප්‍රදේශයේ පිහිටි නිවසකදී හින්දු පූජකවරයෙකු ඝාතනය කර තිදෙනෙකුට බරපතළ තුවාල සිදු කර දොපල කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි යුද හමුදා සෙබළෙකු ඇතුළු තිදෙනෙකු වෙත යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා මරණ දඩුවම නියම කර තිබේ.
2010 වසරේ මෙම ඝාතනය සිදුව ඇති අතර නඩු විභාගයේදී කාසිනාදන් මුහුන්දන්, බාලසුබ්රිමනියම් ශිවරූබන් හා යුධ හමුදා සෙබළෙකු වු පේදුරු ගුණසේන නමැති පුද්ගලයින් තිදෙනා අදාල ඝාතනයට වරදකරු වීමෙන් එලෙස මරණ දණ්ඩණය නියම කර ඇත.
මෙම නඩුව මීට පෙර යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වු අතර පසුව නීති පති උපදෙස් මත යාපනය මහාධිකරණයේදී විභාගයට ගැනීමට තීරණය කර තිබේ.
විත්තිකරුවන් ස්වයංක්‍රීය ගිනි අවි යොදාගෙන පූජකවරයා ඝාතනය කිරීම, අදාළ පුජකවරයාගේ දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල කිරීම සහ දේපල කොල්ලකෑම වෙනුවෙන් මරණ දඩුවමද, පූජකවරයාගේ දරුවන් තුවාල කිරීමේ වරදට වසර විස්ස බැගින් වන සිර දඩුවමක්ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ නාගරත්නම් නිශාන්තන් මහතා පෙනී සිට ඇති අතර විත්තිරකරුවන් වෙනුවෙන් නීතිඥ ශර්මිනි විග්නේවරන් මහත්මිය හා ජෝයි මහිල් මහාදේවා මහතාද පෙනී සිටි තිබේ.









