විශ්වාසභංගය මහින්ද රාජපක්ෂගේ තවත් දේශපාලන සූදුවක්

විශ්වාසභංගය මහින්ද රාජපක්ෂගේ තවත් දේශපාලන සූදුවක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තවත් දේශපාලන සූදුවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ විග්‍රහ කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින්, ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව මගින් හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ “රජය පෙරළා දැමීමට නොව ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩුහබ යටපත් කර දැමීමට” යයි කියා තිබේ.

“මහින්ද රාජපක්ෂ මහත්මයා දේශපාලනයේ හැමවිටම සූදු තමයි කරන්නේ. එතුමාගේ කණ්ඩායම රවි කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනාවා. ඒත් එතුමා ඊට අත්සන් කළේ නැහැ. ඡන්දය දුන්නෙත් නැහැ. ජවිපෙ අපි එදා ඒ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා.” පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාවට අත්සන් නොකළා පමණක් නොව එමගින් ආණ්ඩුව පෙරළා දමා අගමැති පදවිය භාර ගැනීමට සූදානම් නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

“මොකක්ද එහෙනම් මෙතැන තියෙන අරමුණ? අරමුණ තමයි ආණ්ඩුව සොලවා දැමීම. ආණ්ඩුව බයට පත් කරලා – එමගින් රාජ්‍ය සහ පොලිස් නිලධාරීන්ට පණිවුඩයක් දෙනවා – තමන්ට එල්ල වී ඇති නඩුහබ ටික නතර කර ගැනීමට. ඒ අතරම ආණ්ඩුව තවත් පිරිහීමට පත් කරමින් තමාට වඩාත් සුදුසු මොහොතක ආණ්ඩු බලය අල්ලා ගැනීම තමයි එතුමාගේ උපක්‍රමය වී තිබෙන්නේ” ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

මහින්ද පිල ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව කිසිවිටක සිය පක්ෂයට ඉදිරිපත් නොකළ බවත් ඔහු කියාසිටියි.

“එම කෙටුම්පත ජවිපෙටත් ඉදිරිපත් කළානම් ආණ්ඩුවට එරෙහි අපේ අදහස් ද ඊට එක් කරනවා. මොකද මේ සිරිසේන – රනිල් ආණ්ඩුව 2015 ජනවාරි 08 මහජන විශ්වාසය සහමුළින්ම භංග කරපු ආණ්ඩුවක්. හැබැයි අපේ අදහස් එක් කළා නම් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ බොහෝ දෙනකුටත් ඊට අත්සන් කරන්න බැරි වෙනවා” යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම විවේචන සියල්ලම තිබියදී වුවද මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිදු කරණ ඡන්ද විමසීමේදී එම යෝජනාවට පක්ෂව තමන් ඡන්දය ප්‍රකාශ කරන බව මේ වනවිටත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර ඇත.

මූලාශ්‍ර බීබීසී

Facebook
Twitter
LinkedIn