වෙනස්කම් පිලිගනිමින් ජීවත් විය යුත්තේ කොහොමද කියන එකයි අභියෝගය

වෙනස්කම් පිලිගනිමින් ජීවත් විය යුත්තේ කොහොමද කියන එකයි අභියෝගය

“විවිධත්වය මකල අමතක කරල ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගන්න බැහැ. පවතින විවිධත්වයේ අපි අකමැති දේවලුත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. වෙනස්කම් පිලිගනිමින් ජීවත් විය යුත්තේ කොහොමද කියන එකයි මටනම් වැදගත් ප‍්‍රශ්නය වෙන්නේ. මේ අභියෝගය වමේ ව්‍යාපාර සහ ප‍්‍රගතිශීලී සංවිධාන භාරගන්නේ කොහොමද කියන එක විශේෂ අභියෝගයක්.” යැයි විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කරයි.

ඇය මේ බව පැවසූවේ ජාතිවාදයට එරෙහිව ඊයේ (21) කොළඹ මහජන පුස්තකාලයීය ශ‍්‍රවණාගාරයේදී වෙනසක ඇරඹුම සංවිධානය විසින් පවත්වන ලද “අපි මිනිස්සු” ජාතික සමගි කතිකාවත හා එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථිකාචාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය…

“අපිට තියෙන්නේ කතා කරන්න, සංවාද කරන්න ලේසි මාතෘකාවක් නෙමෙයි, සංකීර්ණ තත්ත්වයක්. පළමුවෙන්ම ඒ සංකීර්ණ තත්ත්වය තේරුම් ගැනීම වැදගත්. අම්පාරේදී, දිගනදී ඇතිවූ සිද්ධි ජාතිවාදී ගැටුමක් කියල හිතුවට මම හිතන්නේ ඊට වඩා සංකීර්ණ තත්ත්වයක් බවයි. මේ සිද්ධීන්වලට වැඩිපුර සහභාගී වෙලා තිබුණේ අවුරුදු 16ත් 25ත් අතර තරුණයන්. මේ අවස්ථාවට ඒ වයස් කණ්ඩායම්වල එක්කෙනෙක්වත් ඉන්නවාද කියල මම දන්නේ නැහැ. ඒ කණ්ඩායමට අපි ආමන්ත‍්‍රණය කළ යුත්තේ කොහොමද කියන එක ප‍්‍රශ්නයක්. අපේ නූතන ඉතිහාසයේ අවස්ථා කිහිපයකම මෙවැනි ගැටලු ඒ ඒ කණ්ඩායම් ඇතුළේ මතුවෙලා තියෙනවා. නිදහසින් පස්සෙ සමාජයක් හැටියට මේ සමාජයේ විවිධත්වය එක්ක ජීවත් වෙන්න ඕන කොහොමද කියන එක තේරුම් ගැනීමට අසමත්වීමයි මේ සිදුවීම්වලින් පේන්නේ. විවිධත්වය තුළ අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕන කියන දේ බොහෝ වෙලාවට අහන්න ලැබුණත් ඒක ටිකක් අමාරු දෙයක්. විවිධත්වය මකල අමතක කරල ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගන්න බැහැ. පවතින විවිධත්වයේ අපි අකමැති දේවලුත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. වෙනස්කම් පිලිගනිමින් ජීවත් විය යුත්තේ කොහොමද කියන එකයි මටනම් වැදගත් ප‍්‍රශ්නය වෙන්නේ.

මේ අභියෝගය වමේ ව්‍යාපාර සහ ප‍්‍රගතිශීලී සංවිධාන භාරගන්නේ කොහොමද කියන එක විශේෂ අභියෝගයක්. අපි පුරුදු වෙලා ඉන්නේ මේ පැන නගින ප‍්‍රශ්න සියල්ලම ධනවාදී ක‍්‍රමයේ ගැටලුවක් හැටියට භාරගන්න. විවිධත්වය අතරින් ඇතිවන ගැටීම් වමේ ව්‍යාපාරයකට බාධා කරන බව, ඇත්ත ප‍්‍රශ්නය වහන බව පිළිගන්නයි අපි කැමති. නමුත් ධනවාදී ක‍්‍රමයේ තිබෙන අවුල පිළිගන්නා අතර පුද්ගල අනන්‍යතාවය කියන දේකුත් පිලිගන්න අපිට සිද්ධ වෙනවා. ජාතිය, ආගම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය වගේම පංති අනන්‍යතාවයත් තව එකක්. මේ සියලු කොටස් අපේ පුද්ගලික අනන්‍යතාවය ගොඩනගන සාධක හැටියට පවතිනවා. එක සාධකයක් විතරක් මතු කරලා අනෙක් සාධක බැහැර කරන්න බැහැ. වාමාංශික, ප‍්‍රගතිශීලී ව්‍යාපාර හැටියට මේ විවිධත්වය පිළිඅරගෙන සමානාත්මතාවය ඇති කරන්නේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. මේක ලෙහෙසි වැඩක් නෙමෙයි. විවිධත්වය තුළින් සමානාත්මතාවය ඇති කර ගන්න බැරිවෙන හේතු ගැන හිතන්න ඕනෑ. වරප‍්‍රසාද තියෙන අය අනික් අයට තියෙන ප‍්‍රශ්න ගැන නිතර අහනවා. මේක හරි සංකීර්ණයි. ශ‍්‍රී ලංකා, පකිස්ථාන් ක‍්‍රිකට් මැච් එකක් බලන්න ගිහිල්ලා පකිස්ථාන් ක‍්‍රීඩකයෙකුගේ හතරේ පහරකට මම අත්පුඩි ගැහුවොත් කවුරුත් මගේ දේශප්‍රේමීත්වය ප‍්‍රශ්න කරන්න එන්නේ නැහැ. නමුත් මුස්ලිම් ජාතිකයෙක් බැරිවෙලාවත් පකිස්ථාන ටීම් එකේ එක්කෙනෙකුට අත්පුඩි ගැහුවොත් එයාගෙ දේශප්‍රේමීත්වය ගැන ප‍්‍රශ්න කෙරෙනවා. මේ වගේ උදාහරණ ගඩෙක් ගන්න පුළුවන්. මුස්ලිම් හරි දෙමළ හරි රියදුරෙකුගේ අතින් සිංහල කෙනෙකු හැප්පුනොත් මාර්ග අනතුරක් කියලා හිතන්නේ නැහැ. දරුවෙක් හම්බු වුණ අම්මා කෙනෙකුගෙන් තුන්වෙනි හෝ හතරවෙනි දරුවා ලැබුණු විට දැන් ඇති නේද කියලා සාමාන්‍යයෙන් අහන්නේ නැහැ. නමුත්, දෙමළ හරි මුස්ලිම් හරි වුණොත් තත්ත්වය මොකක්ද? අපේ සමාජයේ වරප‍්‍ර‍්‍රසාද තියෙන අයගේ මට්ටම ඔන්න ඔය විදිහයි.

බෞද්ධ භින්ෂූන් වහන්සේ කෙනෙකුට මේ රටේදී පුරාණයේ හෝ අනෙකුත් ආගම්වල අඩුපාඩු ප‍්‍රසිද්ධියේ කතා කරන්න පුළුවන්. අනිකුත් ආගමිකයෙකුට බුද්ධාගම ගැන එහෙම කතා කරන්න අයිතියක් තියෙනවාද? යම්කිසි විදිහේ වරප‍්‍රසාද කියන්නේ මේවාට.

මේ ප‍්‍රශ්නය ගැන මීට වඩා එහායින් දකින්න නම්, වරප‍්‍රසාද ලත් කණ්ඩායම මුලින්ම ඒ වරප‍්‍රසාදවල මූලය ගැන සංවේදී වෙන්න වෙනවා. අනික් අයගේ වැඩ සහ ඒ අය වෙනස් විය යුතු තැන් ගැන හිතනවාට වඩා සමාජයේ යම් කිසි බලයක් තියෙන, වරප‍්‍රසාද තියෙන මිනිස්සු ස්වයං විවේචනාත්මකව කල්පනා කළ යුතු වෙනවා. මිනිසුන් හැටියට එක් වෙන්න නම් තමන්ගේ වරප‍්‍රසාද තුළින් අනිත් අයගේ වරප‍්‍රසාද අහිමි වෙන්නේ කොහොමද කියන එක ගැන සංවේදී වෙන්න වෙනවා. ඒක ඉතාමත්ම අමාරු දෙයක්. ඒ ඉතාමත්ම අමාරු සාකච්ඡාව ගන්නේ නැතිව වැඩිදුර යන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.”

Facebook
Twitter
LinkedIn