“මාව ගලවා ගැනීමේ ප‍්‍රශ්නයක් නෙවෙයි මේක අපේ රට ගලවා ගැනීමේ ප‍්‍රශ්නයක්”

“මාව ගලවා ගැනීමේ ප‍්‍රශ්නයක් නෙවෙයි මේක අපේ රට ගලවා ගැනීමේ ප‍්‍රශ්නයක්”

මහනුවර තෙල්දෙණියේ සිදුවීම් සමයේ බෞද්ධ සහෝදරවරු තමන්ට කතා කර ආරක්ෂාවීම සඳහා ඔවුන්ගේ ගෙවල්වලට එන ලෙස ආරාධනා කළ බවත් තමන් ඒ හැමදෙනාටම කිව්වා “මාව ගලවා ගැනීමේ ප‍්‍රශ්නයක් නෙවෙයි මේක අපේ රට ගලවා ගැනීමේ ප‍්‍රශ්නයක්” යනුවෙන් බවත් යැයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ කැඳවුම්කරු මවුලවි මුනීර් මුලප්පන් තුමා සඳහන් කරයි.

මවුලවි තුමන් මේ බව පැවසූවේ ජාතිවාදයට එරෙහිව ඊයේ (21) කොළඹ මහජන පුස්තකාලයීය ශ‍්‍රවණාගාරයේදී වෙනසක ඇරඹුම සංවිධානය විසින් පවත්වන ලද “අපි මිනිස්සු” ජාතික සමගි කතිකාවත හා එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ කැඳවුම්කරු මවුලවි මුනීර් මුලප්පන් තුමා…

“ලංකීය සමාජය තුළ මිනිස්සු ලෙස ජීවත්වීමට තියෙන ප‍්‍රබලම බාධාව මුස්ලිම් සමාජය දෝ කියන ප‍්‍රශ්නය මට ඇති වෙනවා. මහනුවර තෙල්දෙණියේ සිදුවුණු සිද්ධි දාමය පවා මුස්ලිම් සමාජයට ලබා දුන් පණිවුඩය වූයේ අලුත් බලාපොරොත්තු ඇති වීමක්. අලුත්ගම ප‍්‍රශ්නය ඇති වෙනකොට තරම් ගිංතොට ප‍්‍රශ්නය ඇති වෙනකොට ලාංකිකයන් එතරම් පිරිසක් ඊට එරෙහිව නැගී සිටියේ නැහැ. හැබැයි මහනුුවර සිද්ධියෙන් පස්සේ අපි ලාංකිකයන් හැටියට අවදි වුණා. වැරදි ගමනක් යන බව තේරුම් ගත්තා. වැරදි ගමනට එරෙහිව මේ මානව ගමන යා යුතුයි කියන පණිවුඩය අපි මිනිස්සු කියන වචන හරහා ලබාදී තිබෙනවා. බෞද්ධ සහෝදරවරු මට කතා කරලා ඔවුන්ගේ ගෙවල්වලට එන ලෙස ආරාධනා කළා. මම ඒ හැමදෙනාටම කිව්වා ‘මාව ගලවා ගැනීමේ ප‍්‍රශ්නයක් නෙවෙයි මේක අපේ රට ගලවා ගැනීමේ ප‍්‍රශ්නයක්’ කියලා. ධම්මපදය, පූජාවලිය, වෙනත් බෞද්ධ පොත්, ක‍්‍රිස්තියානි බයිබලය යන හැමදේකටම මා වෙතින් ගෞරවයක් තිබෙන්නේ මගේ ආගමෙන් ලබාදුන් අවබෝධය නිසයි.

අවුරුදු කිහිපයක් තිස්සේ මුස්ලිම් ව්‍යාපාර ඉලක්ක කරගෙන, මුස්ලිම් ආපනශාලා ඉලක්ක කරගෙන සිදුවීම් ඇතිවුණා. ඒ වගේම වඳ බෙහෙත් ලබාදෙනවා කියන ප‍්‍රචාරයන් තිබුණා. මුස්ලිම්වරු වශයෙන් අපි මත්පැන් භාවිතා කරන්නේ නැහැ. එය අපේ ශරීර සෞඛ්‍යයටත්, පවුල් ජීවිතයටත් හානිකරයි. ඒ නිසා, මේ රටේ මුස්ලිම්වරයෙකුට අයිති එක බාර් එකක් හෝ තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. හේතුව අපිට තහනම් දෙයක් අපි අනිත් අයට විකුණන්නේ නැහැ. ඒ වගේම පොලිය මුල් කර ගත්තු ආර්ථිකය රටකට විනාශකාරී යන්න විශ්වාස කරන අපි තව කෙනෙකුට පොලී දෙන්නෙත් නැහැ. අපි ගන්නෙත් නැහැ.

ඒ වගේම වඳ බෙහෙත් කතාව හරහා කිසිම ජාතියක් වඳ වුණේ නැහැ කියලා මම විශ්වාස කරනවා. වඳ බෙහෙත් හරහා අප තුළ තිබූ මනුෂ්‍යත්වය වඳවෙලා. අපි එකම සහෝදරවරුන් වශයෙන් හිටියා. මගේ දරුවන්ගේ ඥාතීන් මුස්ලිම්වරුන් නෙවෙයි බෞද්ධ ජනතාවයි. වඳ බෙහෙත් කතාව හරහා ඒ මානව බැඳීම පල්ලෙහාට දමලා සැකයෙන් වෛරයෙන් බලන ප‍්‍රචණ්ඩත්වය මුදා හැරෙන තත්ත්වයට මේ සමාජය පත් වෙලා. පුංචි දරුවන්ටත් වෛරය දෙනවාද කියන එක අපි ප‍්‍රශ්න කරන්න ඕනෑ. මුස්ලිම් අය කළත්, සිංහල අය කළත්, හින්දු අය කළත් ඒක වැරදියි.

ලීක් වාන් යූ එදා කීවේ සිංගප්පූරුවත් ලංකාව වගේ කරන්න ඕනෑ කියලා. නිදහස ලැබෙන විට ආසියාවේ දෙවෙනි ඒ්ක පුද්ගල ආදායම තිබුණු රට අපි. සියලු ක්ෂේත‍්‍රවලින් උසස්ම තැනක හිටියා. 2007දී කුවේට් ඩිනාර් එකකට රුපියල් 361යි. අවුරුදු දහයකට පස්සේ එක ඩිනාරයක් රුපියල් 520කට ළඟාවෙලා. අපේ ප‍්‍රශ්නය තියෙන්නේ කොහේද? ඇත්ත ප‍්‍රශ්න වෙන පැත්තකට හරවනවා.

කඩවල් ගිනි තියලා, පල්ලිවලට පහරදීලා මේ ප‍්‍රශ්නය විසඳන්න බැහැ. ආර්ථික වශයෙන් අපි විශාල වැටීමකට ලක් වෙලා. අපේ රටේ අධ්‍යාපනය ලබා දෙන මිශ‍්‍ර පාසල්වලින් එදා සියලුම ජනවාර්ගික දූ දරුවන්ට ලබාදුන් ප‍්‍රතිශතය අදත් ලබා දෙනවාද කියන ප‍්‍රශ්නය අහන්න සිදු වෙනවා. අල් කුරාණය සඳහන් කරන්නේ පණිවිඩයක් ආවොත් විචාරශීලීත්වයෙන්, බුද්ධියෙන් පිළි ගන්න කියලයි. හැබැයි සමාජ මාධ්‍ය ජාල හරහා එන පණිවිඩවලදී අපි හසුරුවනු ලබන්නේ අපේ බුද්ධියෙන් නෙවෙයි. අපි ආගම් තේරුම් අරන් තියෙන්නේ අවබෝධයෙන් නෙවෙයි. අපි සියලු දේ තේරුම් අරන් තියෙන්නේ වැරදි විදිහට. මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරන්නේ ඒ් වැරදිවලින් මිදෙන්න බුද්ධිමත්ව කටයුතු කිිරීමේ ආරම්භයට එන්න කියලයි. නිවැරදි විය යුතු දේ නිවැරදි කර ගන්න මේක හොඳ වේදිකාවක් කර ගනිමුු. මුස්ලිම් සමාජයෙන් වැරදි හෝ අඩුපාඩු තිබෙනවා නම් ලිඛිතව අපිට දෙන්න කියලා මම විවෘතව ආරාධනාවක් කරනවා. ඒ ගැන අපි කතා කරමු. ඒ කතිකාව හරහා අපි සිියලු දෙනාම මිනිස්සු වෙමු.”

Facebook
Twitter
LinkedIn