ජාතිවාදයට හෝ වර්ගවාදයට එරෙහි සටන පෙරමුණු කිහිපයකින් එකවර කළ යුතුයි

ජාතිවාදයට හෝ වර්ගවාදයට එරෙහි සටන පෙරමුණු කිහිපයකින් එකවර කළ යුතුයි

ජාතිවාදයට හෝ වර්ගවාදයට එරෙහි සටන පෙරමුණු කිහිපයකින් එකවර කළ යුතු බව “අලුත් පරපුර” විශ්වාස කරන බව එම සංවිධානයේ සාමාජිකා රංගන ශිල්පීනී සමනලී ෆොන්සේකා මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසූවේ ජාතිවාදයට එරෙහිව ඊයේ (21) කොළඹ මහජන පුස්තකාලයීය ශ‍්‍රවණාගාරයේදී වෙනසක ඇරඹුම සංවිධානය විසින් පවත්වන ලද “අපි මිනිස්සු” ජාතික සමගි කතිකාවත හා එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලුත් පරපුර සංවිධානයේ සමාජිකා රංගන ශිල්පීනී සමනලී ෆොන්සේකා මහත්මිය…

“අලුත් පරපුර හැටියට අපි විශ්වාස කරන්නේ ජාතිවාදයට හෝ වර්ගවාදයට එරෙහි සටන පෙරමුණු කිහිපයකින් එකවර කළ යුතු බවයි. මේ මොහොතට අදාළව ගත්තොත් මේ සිදුවීම් ගැන විදිමත් පරීක්ෂණ සිදු කරලා වැරදිකරුවන්ට දඩුවම් දෙන එක මූලික කාර්යයක්. ඒ කාර්ය දිරිමත් කරන එකත් ඊට අවශ්‍ය නීති රාමුව ශක්තිමත් කරන්නත් මේ ආකාරයේ වැඩසටහන් ප‍්‍රාදේශීය මට්ටම දක්වා ගෙනගොස් ජනතාවගේ දේශපාලන අවබෝධය ඇති කරන එකත් මූලික වගකීමක් කියලා අපි හිතනවා. ඒක එක පෙරමුණක්.

ඊළග පෙරමුණ රටේ ශාස්ත‍්‍රාලීය බුද්ධිමතුන්. ඔවුන් විසින් මේ සිදුවීම් ගැන කරන සමාජ විද්‍යාත්මක හා සමාජ මානව විද්‍යාත්මක පර්යේෂණවලින් ජනමාධ්‍යවලින් කරන ප‍්‍රචාරවලට වඩා දියුණු කියවීමක් ලබාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් කියන විශාල වචන ඇතුළේ මොනතරම් අනු කොටස් තියෙනවාද. ඒ කොටස්වලට අයිති ජනතාව ඒ වගේ වෙලාවක හැසිරෙන්නේ කොහොමද කියල තීරණය කරන්න පොදු ජනතාවට ප‍්‍රමාණවත් හැකියාවක් නැහැ. දියුණු පර්යේෂණ සිද්ධ වෙන්න  ඕන වගේම ඒවා ජනගත වෙන්නත් ඕන ඒ නිසයි. ගොඩනැගෙන නව දැනුම ඔස්සේ පාසල් විෂය නිර්දේශයන් පවා අලුතින් සකස් වෙන්න ඕන කියලා අපි හිතනවා.

ඊළගට ආගමික පෙරමුණක් තිබෙනවා. සියලු ආගම් විසින් අන්තවාදයන්ට එරෙහි කතිකාවන් බලවත් කිරීමත් සිද්ධ වෙන්න ඕන.

මීළගට කලා පෙරමුණත් ඉතා වැදගත්. විශේෂයෙන්ම චිත‍්‍රපටිවලින් මේ රටේ වෙනස් ජාතීන්ගේ වෙනස් ආගම්වල සියුම් සංකීර්ණතා නිරූපනය කරනවාද කියන ගැටලුව අපට තිබෙනවා. මුස්ලිම් හෝ දෙමළ කියන ජන කොටස් ඇතුලෙම මොන තරම් විවිධත්වයන් තියෙනවාද. අපේ නිර්මාණ තුළ අඩුම තරමේ සිංහල නොවන චරිත පවා අපට හමුවන්නේ කලාතුරකින්. ඒ තරමටම ආගමික සහ ජනවාර්ගික විවිධත්වය නිර්මාණ තුළ අදෘෂමානයි. ඒ නිසා අපිත් ඇතුළු කලාකරුවන්ට විශාල වගකීමක් පැවරී තිබෙනවා. ජාතික සමගි ප‍්‍රසංගවලින් එහාට ගිහින් තමන්ගේ නිර්මාණ කළ යුතුව තිබෙනවා. කලාකරුවන් හැටියට අපිටත් මේ මොහොතේ තියෙන සංඛේත ප‍්‍රාග්ධනය ඒ සදහා භාවිතා කරන්න ඕන. ඒ වගේම කලාව කියන්නේ ඉතා බලවත් දෘෂ්ටිවාදී ව්‍යාපෘතියක් කියන එකත් අමතක නොකළ යුතුයි.

අපි මේ පෙරමුණු සියල්ලම වර්ගවාදයට, ආගම්වාදයට එරෙහි ක්‍රියාකාරකම්වලදී ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය පෙරමුණේ සහභාගිත්වයෙන් ජනතාව අතරට අරන් යන්න ඕන.

මේ සියල්ල එකට එකතු වූ සටනක අවශ්‍යතාවය අද අපි ඉදිරියේ තිබෙන බව අලුත් පරපුර විදිහට අපි විශ්වාස කරනවා.”

Facebook
Twitter
LinkedIn