මහින්ද රාජපක්ෂ පාලන සමයේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2012 වරේදී තමන්ට දුරකථන ඇමතුමක් ලබාදී අමාත්‍යවරයාගේ ගිණුමට ඇතුළු ගිණුම් තුනකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ මුදල් බැර කරන ලෙස නියෝග කළ බව එම වෘත්තීය සමිතියේ භාණ්ඩාගාරිකවරයා අද (22) අධිකරණයේදී අනාවරණය කර තිබේ.
ඒ එම වෘත්තීය සමිතියේ මුදල් රුපියල් ලක්ෂ 29ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීය.
එහිදී, 2012 වසරේදී අමාත්‍යවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදී ගිණුම් 03කට ලක්ෂ 29ක් තැන්පත් කරන ලෙස නියෝග කළ බවත් ඒ අනුව හිටපු අමාත්‍යවරයාගේ ගිණුමට ලක්ෂ 14ක්, කාර්යාල නිලධාරියාගේ ගිණුමට ලක්ෂ 05ක් සහ ආරක්ෂක නිලධාරියාගේ ගිණුමට ලක්ෂ 10ක මුදලක් බැර කළ බවත් එම වෘත්තීය සමිතියේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ නාවලගේ ඩග්ලස් මහතා අධිකරණයේදී කරුණු දක්වමින් කියා ඇත.
මෙහි වැඩිදුර සාක්ෂි විමසීම ලබන මැයි මස 02වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර තිබේ.










