ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තෙවෙන් වතාවටත් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන මැයි 25 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කර තිබේ.
මෙම ප්‍රතිශෝධන අයදුම්පත අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවා තිබිණි.
අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ සිටියි.
නඩුව ගොණුකළ ආසන්න කාලයේ මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවට පෙත්සම්කරුවන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළත් එම මූලික විරෝධතාවය ඉවත දමනු ලැබීය.
ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඊට එරෙහිව කොළඹ මහාධිකරණයට ප‍්‍රතිශෝධන අයදුමක් ඉදිරිපත් කළ අතර එම ප‍්‍රතිශෝධන පෙත්සමද ප‍්‍රතික්ෂේප කෙරිණි.
ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම ප‍්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කෙරිණි.
වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාළ නඩු විභාගය මෙම පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද මූලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය අහෝසි කර එය පිළිගැනීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා ඇත.
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධ නඩුවේ එක් සැකකාරියක වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර ඇය රාජ්‍ය සේවක නීතී රීති උල්ලංඝණය කරමින් නීතිවිරෝධී ලෙස විදේශගත වී සිටී.










