“බුදු හාමුදුරුවෝ දේශනා කළේ ජාතිය අහන්න එපා. හැසිරීම ගැන අහන්න කියලයි. පුද්ගලයා හැසිරෙන ආකාරය අනුව ශ්‍රේෂ්ඨත්වය හෝ පහත් තත්ත්වය තේරෙනවා. බුදු හාමුදුරුවන්ගේ දේශනාව තුළ ජාතිවාදය කියල එකක් නැහැ. විශේෂයෙන්ම වාසෙට්ඨ සූත‍්‍රයේදී ජාතිවාදය තියෙන්නේ කාටද කියලා සදහන් වෙනවා. ගහකොළවලට, සාතා සීපාවාට වෙනස්කම් තිබෙනවා. මනුෂ්‍යයෝ ඔක්කොම එකයි.” යැයි ධර්ම පර්යේෂණ මධ්‍යස්ථානාධිපති ශාස්ත‍්‍රපති හෑගොඩ විපස්සී හිමියෝ පවසති.
හෑගොඩ විපස්සී හිමියෝ මේ බව පැවසූවේ ජාතිවාදයට එරෙහිව ඊයේ (21) කොළඹ මහජන පුස්තකාලයීය ශ‍්‍රවණාගාරයේදී වෙනසක ඇරඹුම සංවිධානය විසින් පවත්වන ලද “අපි මිනිස්සු” ජාතික සමගි කතිකාවතේ ආරාධිත දේශනය පවත්වමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධර්ම පර්යේෂණ මධ්‍යස්ථානාධිපති ශාස්ත‍්‍රපති හෑගොඩ විපස්සී හිමියෝ…
“මම මෙතන කිසිදු පක්ෂයක් නියෝජනය කරන කෙනෙක් නෙමෙයි. ශාන්ති නායක බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව භික්ෂූ ජීවිතය අර්ථවත් කරමින් සමාජයේ ප‍්‍රගතිය කරා යම් මෙහෙවරක් කරන්න අවශ්‍ය දේ අවශ්‍ය තැනදි කරුණු ඉදිරිපත් කරන හාමුදුරු කෙනෙක්. ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ දේශනාව “සියලු සත්වයෝ සුවපත් වෙත්වා” කියලයි. බුදු දහම හුදෙක් මානව කෙන්ද්‍රීය දහමක් විතරක් නෙමෙයි. සත්ව කේන්ද්‍රීය ගහකොළ කෙන්ද්‍රී ධර්මයක්. විවිධ ප‍්‍රශ්න හමුවේ බුදු දහමෙන් ප‍්‍රයෝජන නොගන්නා නිසා මහා විපත් ඇතිවෙලා. ලංකාවට බුදු දහම හදුන්වා දුන් මිහිදු හාමුදුරුවෝ වැඩම කොට අවුරුදු 2325කට වැඩියි. ඉන්පසු රටේ මහ දැවැන්ත සංවර්ධනයක් වුණ බව පුරා විද්‍යාත්මක සාධකවලින් තහවුරු වෙනවා. හැම අංශයකම ප‍්‍රගතියක් තිබුණා. ඒ නිසා මේ රට නිරන්තරයෙන්ම ප‍්‍රශ්න විසදමින් ලෝකයාට ආදර්ශ දුන්නා.
අපේ රටේ සියලු සම්පත් තියෙනවා. ලෝකයේ සමහර රටවල ජල බිංදුවක් නැහැ. අපේ රටේ පානීය ජලය තිබුණත් අද ගොඩක් දූෂණය වෙලා. ගහකොළ, සතා සීපාවා වගේම ඉතාම විචක්ෂණ මිනිස් සම්පතකුත් තිබෙනවා. කාලාන්තරයක් තිස්සේ මේවගෙන් නිසි ප‍්‍රයෝජන ගන්නේ නැහැ. දේශපාලන රටාව ඒකට හේතුවුණා. සියලු දේවල් ගැන තීරණ දේශපානඥයෝ ගන්න ගිය නිසා තමයි මෙහෙම වුණේ. බුදු හාමුදුරුවෝ දේශනා කළේ ජාතිය අහන්න එපා. හැසිරීම ගැන අහන්න කියලයි. පුද්ගලයා හැසිරෙන ආකාරය අනුව ශ්‍රේෂ්ඨත්වය හෝ පහත් තත්ත්වය තේරෙනවා. බුදු හාමුදුරුවන්ගේ දේශනාව තුළ ජාතිවාදය කියල එකක් නැහැ. විශේෂයෙන්ම වාසෙට්ඨ සූත‍්‍රයේදී ජාතිවාදය තියෙන්නේ කාටද කියලා සදහන් වෙනවා. ගහකොළවලට, සාතා සීපාවාට වෙනස්කම් තිබෙනවා. මනුෂ්‍යයෝ ඔක්කොම එකයි. ඇහැකන ආදී අංග ප‍්‍රත්‍යයන්ගෙන් හෝ ලිංගයෙන් හෝ මිනිස් වර්ගයා මොන ජාතියකට අයිතියිද කියල බෙදන්න බැරි බවයි බුදුහාමුදුරුවො දේශනා කළේ.
අද විවිධ ප‍්‍රශ්න හමුවේ බුදු දහමේ තිබෙන මේ ඖෂධ පාවිච්චි කරන්නේ නැතිව වෙනත් දේවල් උපයෝගී කරගෙන මේ රට විනාශය කරා ගමන් කරවන්නේ ඇයි? අපි විවෘතව කතා කළොත් මිත්‍යා දෘෂ්ඨිය සැගවූ තරමට ප‍්‍රබලකම තිබෙන අතර ධර්මය විවෘත වූ තරමට බබලනවා. කොමිෂන් සභා පත් කරනවා, ඒ නිර්දේශවලින් වැඩක් ගන්නේ නැහැ. මේ බුදු දහම කාටවත් ගැටුම් ඇතිකරගන්න දහමක් නෙමෙයි. ප‍්‍රශ්නය තිබෙන්නේ බුදු දහම කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගෙන නැති කමයි. එදා ඉදන් මේ රට ගොඩනැගුවේ ආගමික නිදහස තුළින්. මේ දේවල් තේරුම් ගත්තහම අපේ අනන්‍යතාවය ඉබේම සුරක්ෂිත වෙනවා.
ප‍්‍රමුඛස්ථානය නෙමෙයි අවශ්‍ය කරන්නේ. දර්ශනයේ තියෙන මූලික හර පද්ධතීන් අපේ ජීවිතයට එකතුකර ගැනීමයි. යම් කිසි ගැටුම් ඇතිවෙන්න හේතු තියෙනවා. එහෙම ඇති වුණාම පැලැස්තර දැමීම පමණයි කරන්නේ. හේතුව හොයල බලල දීර්ඝ කාලීන විසදුම් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ ලෝකයේ ගහකොළවලින්, වාතයෙන්, ජලයෙන් ප‍්‍රයෝජන ගන්න මිනිසුන් වගේම තවත් සත්ත්ව කොට්ඨාසයන් රැසක් සිටිනවා. ඒ දේවල්වලින් ප‍්‍රයෝජන ගැනීමේදී සිවුපා සතුන් වගේ කා කොටා නොගෙන අපි මිනිස්සු වගේ කටයුතු කරන්න ඕනෑ.”












