මුතුරාජවෙල අක්කර 400ක් ගොඩකිරීම ගැන විජිත හේරත් අධීක්ෂණ කමිටුව කැඳවයි

මුතුරාජවෙල අක්කර 400ක් ගොඩකිරීම ගැන විජිත හේරත් අධීක්ෂණ කමිටුව කැඳවයි

මුතුරාජවෙල රක්ෂිතයේ ඉඩම් අක්කර 400කට අධික ප‍්‍රමාණයක් ගොඩ කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුට අවසර ලබාදීම පිළිබඳව මේ දිනවල ආන්දෝලනයක් මතුව තිබේ. පරිසර සංවිධානවලින් දැඩි විරෝධයක් මේ සඳහා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම අමාත්‍යංශ අධීක්ෂණ කමිටුවේ සභාපති විජිත හේරත් මහතා විසින් විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

මාර්තු විසිදෙවැනි දින පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ එම අධීක්ෂණ කමිටුවට ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරී සහ පරිසර අමාත්‍යංශ නිලධාරීන් කැඳවා තිබිණි. කෙසේ වෙතත් මෙම කැඳවීම සැලවීමත් සමඟ පරිසර අමාත්‍ය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන් සමඟ ගොඩ කිරීමට යන ඉඩම නිරීක්ෂණය සඳහා විසිදෙවැනි දින පෙරවරුවේ එම ප‍්‍රදේශයට ගොස් තිබිණි. කෙසේ වෙතත් මේ වනවිට ගොඩකිරීම නැවැත්වීමට ජනාධිපතිවරයා විසින් නියෝගයක් ලබාදී තිබෙන බවද වාර්තා වේ.

මේ සඳහා මුලින් අවසර ලබාදී තිබෙන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගම්පහ සහකාර කොමසාරිස්වරියයි. ඇය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ දියණියගේ පාසල් මිතුරියක් බවද සේවකයින් අතුර කතාබහක් පවතී.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ගොඩ කිරීමට ලක්කරන ඉඩමක් කුඹුරු ඉඩමක් නොවන බවට නිර්දේශයක් ලබාදීමෙන් පසුව ගොඩ කිරීම පිළිබඳව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනේ. ඒ අනුව ගම්පහ සහකාර කොමසාරිවරිය මූලික නිර්දේශය ලබාදීමෙන් පසුව අදාළ ව්‍යාපාරිකයා විසින් තුන්කෝටි විසිපන්ලක්ෂ පනස්එක්දහසක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ගෙවා ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම ඉඩම් කොටස ගොඩ කිරීම පිළිබඳ ප‍්‍රදේශවාසීන්ගේ, දේශපාලන පක්ෂවල සහ පරිසර සංවිධානවල විරෝධයත් සමඟ ඇතැම් නිලධාරීන්ද මෙම ගොඩ කිරීමට එරෙහිව නැගී සිටින බවද වාර්තා වේ.

පසුගියදා මුතුරාජවෙල ප‍්‍රදේශයට ගිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරුවරයෙක් කියා තිබුණේ එම ඉඩම කුඹුරු ඉඩමක් බැවින් ගොඩ කළ නොහැකි බවයි. එය ජනමාධ්‍ය විසින්ද වාර්තා කර තිබිණි. ඉන් අනතුරුව අදාළ ආයතනයේ ඉහළ නිලධාරීන්ද ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව උභතෝකෝටික ප‍්‍රශ්නයකට මැදිවී ඇති බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්