සොඛ්‍ය ඇමතිගේ රෝගී බිල්පත් නිකුත් කිරීමට යටින් ඇත්තේ සෞඛ්‍ය සේවාව විකිණීමේ සැලසුමක් බව සමස්ත ලංකා සුවසේවා සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කරයි.
සමස්ත ලංකා හෙද සංගමයේ වැඩ බලන සභාපති එච්.එම්.එස්.බී මැදිවත්ත මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ…
රජයේ රෝහල්වලින් ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ පරීක්‍ෂණ, ඖෂධ, ඇතුලු කාර්යය මණ්ඩල සඳහා වැය වූ මුදල් සඳහා බිල්පත් ලබා දීමට ඉදිරියේදී ක්‍රියා කරන බවට සෞඛ්‍ය ඇමතිවරයා ප‍්‍රකාශයක් කර ඇත.
මෙරට සෞඛ්‍ය සේවාව ජනතාව දුක් මහන්සියෙන් උපයන මුදල් වලින් ලබා ගන්නා බදු මුදලින් නඩත්තු කරන බව අප රටේ ජනතාව ඉතා හොඳින් දන්නා දෙයකි. පසුගිය කාලයේ රට පාලනය කල ආණ්ඩු මෙන්ම වර්ථමාන ආණ්ඩුව ද රටේ ජනතාවගේ සෞඛ්‍ය සේවය සඳහා අයවැයෙන් වෙන් කරන මුදල විශාල වශයෙන් කප්පාදු කරමින් සිටියි. එ් තුළ ජනතාවගේ සෞඛ්‍ය අයිතීන් දිනෙන් දින කප්පාදු කරමින් තිබේ.
එහි ප‍්‍රථිඵලයක් ලෙස ඩෙංගු වැනි වසංගත රෝග රට පුරා පැතිර යාමේ සිට රටේ ජනතාව වකුගඩු රෝග දියවැඩියාව වැනි බෝ නොවන රෝග හා විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීම දිනෙන් දින වැඩි වෙමින් තිබේ. මෙම රෝගීන් පරීක්‍ෂා කිරීම, හඳුනා ගැනීම, සෞඛ්‍ය උපදෙස් ලබා දීම හා අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමට සැලසුම්ගත වැඩ පිළිවෙලක් සැකසීම ආණ්ඩුවේ වගකීමයි.
උදෑසන රෝහල්වලට පැමිණෙන රෝගීන්ට වරු ගණන් රෝහල්වල රස්තියාදු වීමටත්, බොහෝ පරීක්‍ෂණ හා ඖෂධ මුදල් ගෙවා පිටතින් ලබා ගැනීමටත් සිදුව තිබේ. සෞඛ්‍ය ඇමතිවරයා අවධානය යොමු කළ යුත්තේ මෙම තත්වයන් නිවැරදි කිරීමටය. සෞඛ්‍ය සේවාවට අත්‍යවශ්‍ය ඖෂධ, උපකරණ, කාර්යමණ්ඩල ලබා දී රටේ සියලු ජනතාවට තම තමන්ගේ ප‍්‍රදේශවල රෝහල්වලින් අවශ්‍ය සේවාවන් ලබා ගැනීමේ පහසුව සැලසිය යුතුව ඇත.
ඒ වෙනුවට රෝගී බිල්පත් ලබා දීම මගින් අහිංසක රෝගීන්ට නම් කිසිදු යහපතක් ඇති නොවනු ඇත. ඇමතිවරයාගේ මෙම බිල්පත් සෙල්ලම අද ඊයේ ඇති වූ අදහසක් නොවේ. හෙද සේවාවේ අපට මෙය අලුත් ප‍්‍රකාශයක් නොවුවද රටේ ජනතාවට එය අලුත් දෙයක් විය හැක.
මෙම බිල්පත ලබා දීම හරහා ආණ්ඩුවේ උවමනාව වී ඇත්තේ ප‍්‍රතිකාර ලැබ රෝහලින් පිටව යන රෝගියා වෙනුවෙන් ආණ්ඩුුව මෙපමණ මුදලක් වැය කර තිබේ යන සිතුවිල්ල රෝගීයාත් රෝගියාගේ පවුලෙ අය තුළත් ජනිත කිරීමයි. එලෙස යම් කාලයක් එම බිල්පත් ලබාදීමේ කිි‍්‍රයාවලිය සිදුවන්නට හැර ආණ්ඩුව රෝගියාට වියදම් කළ මුදලින් යම් මුදලක් හෝ ප‍්‍රතිශතයක් විවිධ හේතූන් දක්වමින් අය කර ගැනීම සඳහා උත්සහා දරන බව අපගේ විශ්වාසයයි.
එ් උවමනාව සඳහා සෞඛ්‍ය ඇමතිවරයා සමඟ කටයුතු කරන සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින් පිරිසක් කැමැත්ත ලබා දී ඇත. පසුගියදා හෙද හා පරිපූරක පිරිස්වල අතිකාල දීමනා වැඩි කිරීමට ආණ්ඩුව ඉදිරිපත් කල කොන්දේසීවල රෝගීන් සඳහා බිල්පත් ලිවීමත් ඇතුළත් කර තිබුණි.
නමුත් ඇමතිවරයාගේ උවමනාවන්ට එරෙහිව හෙද සේවාව තුළ දැඩි විරෝධයක් හටගනු ලැබිණි. එය වැඩ වර්ජනයක් දක්වා වර්ධනය විය. එ් තුළ ඇමතිවරයාගේ එම වුවමනාව පසුපසට ගැනිමට සිදු විය. කෙසේ වුවද රෝගීන්ගේ ප‍්‍රතිකාරවලට මුදල් අය කිරීම සඳහා ආණ්ඩුව දරන උත්සාහය තවමත් සිදුවෙමින් ඇති බව ඔහුගේ අනුරාධපුර ප‍්‍රකාශයෙන් පෙනී යයි.
එබැවින් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව මිල කිරීමට ඇමතිවරයා ප‍්‍රමඛ ආණ්ඩුව දරන උත්සාහය පරාජය කිරීම සඳහා හෙද හෙදියන් කටයුතු කරන බවත් එ් සඳහා රටේ ප‍්‍රගතිශීලී වෘත්තීය සමිති මෙන්ම ජනතාවද දැනුවත්ව කටයුතු කලයුතු බවත් දන්වා සිටිමු.
ස්තූතියි.
මෙයට,
එච්.එම්.එස්.බී මැදිවත්ත
වැඩ බලන සභාපති
සමස්ත ලංකා හෙද සංගමය.
සම්බන්ධීකරණ : 071 861 6645










