ජනපති නියෝගයටත් පිටින් පොල් ඉඩම් කැඩීම දිගටම

ජනපති නියෝගයටත් පිටින් පොල් ඉඩම් කැඩීම දිගටම

වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පනවන ලද තහනම් නියෝගය නොතකා, සූක්ෂ්ම ලෙස එම ඉඩම් කට්ටි කරමින් පවතින බව අනාවරණය වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය කරන ලද්දේ 2018 මාර්තු 07 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කළ යෝජනාවකට අනුවය.

එහෙත් එම නියෝගය ලබාදුන් දිනට පෙර දින යොදා ව්‍යාජ ලෙස ලේඛන සකස් කොට පොල් ඉඩම් කැබලි කරමින් පවතින බවත් මේ සඳහා වයඹ පළාත් සභාවේ සහයෝගය ලැබෙන බවත් වැඩි දුරටත් හෙළි වේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරන වයඹ පළාත් මහ ඇමති ධර්මසිරි දසනායක මහතා පැවසන්නේ ජනාධිපතිවරයා තහනම් නියෝග පැනවීමට පෙර කැබලි කිරීමට අනුමැතිය ලබාදුන් පොල් ඉඩම් තිබෙන බවත් ව්‍යාජ ලේඛන මත පොල් ඉඩම් කැබලි කිරීමට තමන් අනුමැතිය නොදුන් බවත්ය. අක්කර 04ට වැඩි පොල් ඉඩම් පවා කැබලි කිරීමට පොල් ඉඩම් කමිටුව හරහා අනුමැතිය ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් මහ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසන්නේ සරුසාර පොල් ඉඩම් කැබලි කිරීම මේ වනවිට බරපතළ ගැටලුවක් වී ඇති බවයි. පොල් මිල ඉහළ යෑමට මෙය හේතු වී ඇති බවත් ඊට පළාත් දේශපාලනඥයන් සහයෝගය දක්වන බවත් පවසන නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා පැනවූ නියෝගය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි.

මූලාශ්‍ර රැස

Facebook
Twitter
LinkedIn