කෝප් කමිටුව විසින් විමර්ශනය කරන ලද ආයතන 13ක වාර්තා 05ක් කෝප් කමිටු සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ලංකා ගල් අඟුරු පෞද්ගලික සමාගම, ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ජාතික අධ්‍යාපන ආයතනය, ලංකා සෝල්ට් සමාගම ඇතුළු ආයතන 13ක වාර්තා ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
කෝප් කමිටුව විසින් මෙතෙක් ඉදිරිපත් කළ වාර්තාවලට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුව කිසිදු අවධානයක් යොමුකර නොමැති බැවින් මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුවද නිසි ක‍්‍රියාමාර්ග නොගන්නේ නම් කෝප් පරීක්ෂණ ජනගත කිරීමේ ක‍්‍රියාමාර්ගයකට එළඹීමට කෝප් සභාපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවද වාර්තා වේ.
කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ දූෂණ විරෝධී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ගෝලීය සංසදයේ මහලේකම් ජෝන් හයිඩි මහතා අතර හමුවක් පසුගිය පාර්ලිමේන්තු සතියේදී සිදුවී ඇති අතර එහිදීද කෝප් පරීක්ෂණ මාධ්‍ය සඳහා විවෘත කිරීම සහ ජනතාවට දැනගැනීමට හැකිවන පරිදි වාර්තා කිරීම පිළිබඳව සාකච්ඡාවක් මතුවී තිබේ.
ලංකාවේ මන්ත‍්‍රීවරුන් සඳහා වැඩමුළුවක් පැවැත්වීමට එන ලෙස දූෂණ විරෝධී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ගෝලීය සංසදයේ දකුණු ආසියානු පැසිෆික් කලාපීය කමිටුවේ භාණ්ඩාගාරික ධුරයද හොබවන කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ජෝන් හයිඩි මහතාට ආරාධනාවක්ද කර ඇත.










