තොණ්ඩමන්ගේ ගෝලයෙක් කොටගල වෛද්‍යවරුන්ට තර්ජනය කරලා

තොණ්ඩමන්ගේ ගෝලයෙක් කොටගල වෛද්‍යවරුන්ට තර්ජනය කරලා

ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආධාරකරුවෙකු විසින් ඊයේ (16) රාත්‍රී කොටගල ප‍්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩලයට බැන වැද තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එයට විරෝධය පා එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අද (17) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

කොටගල සිට පතන දක්වා ධාවනය වු වෑන් රථයකට වතුකම්කරුවෙකු ගැටීමෙන් අනතුරුව එම තුවාලකරුව ඊයේ (16) රාත්‍රී 9.30 ට පමණ කොටගල ප‍්‍රාදේශිය රෝහලට ඇතුලත් කළ අවස්ථාවේ එම රෝගියාට වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ප‍්‍රතිකාර ලබා දෙමින් සිටියදි එම රෝහල වෙත පැමිණී ලංකා කම්කරු කොංග‍්‍රසයේ නුවරඑළිය ප‍්‍රාදේශිය සභාවේ හිටපු ප‍්‍රාදේශිය සභා මන්ත්‍රී ආර්. මලර්වාසගම් මහතා ඇතුළු පිරිසක් රෝහල වෙත පැමිණ රෝහලේ කලහාකාරි ලෙස හැසිරෙමින් වෛද්‍යවරයාට හා කාර්ය මණ්ඩලයට බැන වැදි ඇත.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිය විසින් දිඹුල පොලිසියටද පැමිණිල්ලක් කර ඇති අතර වෛද්‍යවරයාට තර්ජනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසද එම පැමිණිල්ලේ සදහන් කර තිබේ.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් දිඹුල පොලිසිය මගින් වෑන් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරෙන් තුවාල ලැබු තුවාලකරුව කොටගල ප‍්‍රාදේශිය රෝහලේ සිට දික්ඔය මුලික රෝහලට මාරුකර ඔහු වැඩි දුර ප‍්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බව දිඹුල පොලිසිය කියා සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරික්‍ෂණ ආරම්භ කර ඇත.

Facebook
Twitter
LinkedIn