ශ්‍රී ලංකා රක්ෂන සමාගමට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය යටතේ 2012 වසරේදි වෙන්කෙරුණු රුපියල් බිලියන 18.5 ක මුදලින් රුපියල් බිලියන 04ක් නිතිවිරෝධී ලෙස හම්බන්තොට හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතියට යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියේ තුන්වන සැකකරු වන පියදාස කුඩාබාලගේට ලබන 25 වනදා සිට ලබන අප්‍රේල් 25 වනදා දක්වා විදේශ ගත වීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (16 ) අවසර ලබා දී තිබේ.
තම දරූවාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා දීමට සහ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කිරීමට විදේශ ගත වීමට අවසර ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත් වරිය මේ නියෝගය සිදු කර ඇත.
රුපියල් ලක්ෂ පහක අතිරේක ශරීර ඇපයක් මත සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් වරිය ඒ බව ආගමන විගමන පාලක ජනරාල් වරයාට දැනුම් දෙන ලෙස නියෝග කර තිබේ.
සැකකරුට ඇති අපරාධ වගකීමේ අවමභාවය, විදේශ ගත වී නැවත විධිමත් ලෙස අධිකරණයට ඉදිරිපත් වීම සහ දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට විදේශ ගත වීම යන කරුණු සලකා බලා විදේශ ගත වීමට අවසර ලබා දෙන බව මහේස්ත්‍රාත් වරිය ප්‍රකාශ කර ඇත.
ඔහුගේ දරුවා වැඩිහිටියෙක් බැවින් තනිව විදේශ ගත විය හැකි බව පවසමින් සැකකරු විදේශ ගත වීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විරෝධය ප්‍රකාශ කර තිබෙන නමුත් ප්‍රතිකාර සඳහා දරුවා රැගෙන යාම සිදු කළ යුතු බව පවසමින් මහේස්ත්‍රාත් වරිය සැකකරුට විදේශ ගත වීමට අවසර ලබා දි තිබේ.
සිද්ධියට අදාළ නඩුව ලබන අප්‍රේල් 02වනදා යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත් වරිය නියෝග කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත් වරිය නියෝග කර ඇත.









