උදයංග වීරතුංග වහාම අත්අඩංගුවට ගන්න – විවෘත වරෙන්තුවක්

උදයංග වීරතුංග වහාම අත්අඩංගුවට ගන්න – විවෘත වරෙන්තුවක්

රුසියානු හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ කරුණු දැක්වීමක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අදාළ විවෘත වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය වෙත යැවිම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසද නියෝග කර ඇත.

2006 වසරේදී යුක්රේනයේ අවි ආයුධ සැපයුම් සමාගමකින් මිග් 27 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 04ක් මිලදී ගැනීමේදී සිදු කර ඇති මුල්‍ය වංචාක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවකට අදාළව ඔහුව මෙලෙස අධිකරණයට අවශ්‍ය වී තිබේ.

උදයංග වීරතුංග මහතා පසුගිය පෙබරවාරි මස 04 වනදා ඩුබායිහි තොටුපල බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දී ඇත.

එහිදී එම නිලධාරින් විසින් උදයංග වීරතුංග මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය, පදිංචි ස්ථානය සහ දුරකතන අංකය ඇතුළු තොරතුරු ලබා ගැනිමෙන්  අනතුරුව ඔහු මුදාහැර තිබිණි.

පසුව එම නිලධාරින් සිදු කළ විමර්ශනයේදී අදාළ ලිපිනයේ උදයංග වීරතුංග මහතා පදිංචිව නොමැති බවට සහ ලබාදුන් දුරකතන අංකය ක්‍රියා විරහිත කර ඇති බවට තොරතුරු අනාවරණය වීම නිසා උදයංග වීරතුංග මහතා පලාගොස් සැගව සිටින සැකකරුවෙකු ලෙසට නම් කර මෙරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.

ඒ බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරින් විසින් අද අධිකරණයට දැනුම්දී තිබේ.

කෙසේ නමුත් මීට පෙර උදයංග වීරතුංග මහතා අවස්ථා කිහිපයකදීම මෙරට මාධ්‍ය වෙත නිවේදන නිකුත් කරමින් සඳහන් කර සිටියේ තමන් වරදක් කර නැති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක පරීක්ෂණ සඳහා සහාය වන බවත්ය. එහෙත් මේ වනවිට ඔහු රටෙනුත් පලා ගොස් සැඟවී ඇත.

Facebook
Twitter
LinkedIn