නියං ආධාරවල ප්‍රමිතියෙන් තොර සහල්

නියං ආධාරවල ප්‍රමිතියෙන් තොර සහල්

මහකුඹුක්කඩවල වල්පාළුව ගම්මානයේ ජනතාවට නියං ආධාර යටතේ ලබා දී ඇති සහල් ප්‍රමිතියෙන් තොර කල් ඉකුත් වූ ඒවා බව කියමින් ජනතාව ඊයේ (20) විරෝධතාවයක නිරතව ඇත.

මේ පිළිබඳව පරික්ෂණ පැවැත්වීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා අදාල නිලධාරින්ට නියෝග කර තිබේ.

අදාල සහල් තොග ජනතාවට ලබා දීමට ඇනවුම භාර දී ඇත්තේ මදුරන්කුලිය සමුපකාර සමිතියට වන අතර එය මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වල්පාලුව ග්‍රාම නිලධාරි මගින් බෙදා දීම සදුදා සිදුව තිබුණි.

ජනතාවට ලබා දි තිබූ වියළි සලාක මල්ලේ රුපියල් 1370ක වටිනාකමට සහල් කිලෝ පහක් ඇතුළු වියළි සලාක තිබූ බව කියයි.

කෙසේ නමුත් මෙම වියළි සලාකයේ තිබූ සහල් කිලෝ පහ අසුරා තිබූ ඇසුරුම්වල 2014 වසරේ කල් ඉකුත් වන දිනවලට උඩින් අලුත් දින අලවා තිබීමත් ලබා දී ඇති සහල් ආහාරයට ගැනීමට නොහැකි තත්වයක පවතින බවත් ජනතාව චෝදනා කරති.

අදාල සහල්  සඳහා මතු වු විරෝධතා හේතුවෙන් ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණියගේ උපදෙස් මත මහකුඹුක්කඩවල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අදාල පරික්ෂණ පවත්වා ඇත.

එහිදි ජනතාවගේ තොරතුරු මත වෙනත් ස්ථානයක ගබඩා කර තිබූ තවත් සහල් කිලෝ 500කට ආසන්න ප්‍රමාණයක්ද සිය භාරයට ගෙන තිබූ අතර එම ස්ථානය මුද්‍රා තැබීමටද මහජන සෞඛ්‍ය පරික්ෂක වරු කටයුතු කර තිබූණි.

මෙම වියළි සලාකයට ලබා දී තිබූ තේ කොළ පැකට්වල දින මකා තිබූ බවත් ඒ වෙනුවට අලුත් දින අලවා තිබූ බවද මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන මදුරන්කුලිය සමුපකාරයට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.එල්.එම් අශෝක මහතා පවසයි.

Facebook
Twitter
LinkedIn