රනිල්ගෙන් නීතියට වෙට්ටු දමා යන සිල් රෙදි වැනි ගේමක්

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ සිල් රෙදි බෙදා දීම වැනි වූ අල්ලස් දීමේ ක‍්‍රියාවක් ‘සසුනෝදය’ යනුවෙන් නම් කර පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශ කර තිබියදී රට පුරා පන්සල් ඇතුළු ආගමික ස්ථාන ඉලක්ක කර අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ සඳහා යොදා ගනිමින් සිටින්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව පවතින මුදල් ය.

එම අරමුදල් පනතේ සඳහන් අරමුණුවලට පටහැනි නොවන පරිදි මැතිවරණයට පෙර මූලික වශයෙන් ක‍්‍රියාවට නැඟූ ව්‍යාපෘතියක් බව පෙන්විය හැකි සේ මෙය ක‍්‍රියාත්මක කරමින් සිටීම විශේෂත්වයකි. රට තුළ සහ විදේශයන්හිද ආගමික කටයුතු ප‍්‍රවර්ධනය කිරීම සහ ආගමික ස්ථාන සංරක්ෂණය කිරීම යන අරමුණුවලට මුවා වී රුපියල් ලක්ෂ 05 බැගින් විහාරස්ථානවලට මැතිවරණ සමයේ බෙදා දෙමින් සිටියි. මේ වනවිට ද පන්සල් 1,800කට රුපියල් ලක්ෂ පහ බැගින් චෙක්පත් ලබා දී ඇති අතර විශාල වශයෙන් මුදල් ගැවසෙන පන්සල්වලටද බෙදා දී තිබීම විශේෂත්වයක්ය.

මේ වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදලට රුපියල් මිලියන 3,000කට වැඩි මුදලක් එකතු වී තිබෙන අතර, පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී එම මුදල් විවිධ කටයුතු සඳහා යොදා ගැනීමට සූදානම් වුවත් එල්ල කෙරුණු විරෝධය හමුවේ ආණ්ඩුවට එය  කර ගත නොහැකි විය. නමුත් වර්තමාන හවුල් පාලනය යටතේ එම මුදල් නීති විරෝධී නොවන ලෙස විවිධ උපක‍්‍රම හරහා එ.ජා.ප. ඡන්ද අල්ලස් වශයෙන් බෙදා දීමට යොදවමින් සිටියි.

මෙම අරමුදලේ සභාපති වශයෙන් පනතේ ප‍්‍රතිපාදන අනුව අගමැතිවරයා පත් වේ. එසේම මුදල්, සංස්කෘතික කටයුතු, සංචාරක, හින්දු ආගමික කටයුතු ඇතුළු ඇමතිවරු කිහිප දෙනෙක් ද, අග‍්‍රාමාත්‍ය ලේකම් ඇතුළු රජයේ නිලධාරීහුද මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට නිල බලයෙන් පත් වෙති. මේ අවසරයෙන් ප‍්‍රයෝජනය ගෙන නීතියෙන් රිංගා ගොස් අරමුදල් අවභාවිත කරමින්, ඡන්දය වෙනුවෙන් බෙදාහරිමින් සිටියි.

Facebook
Twitter
LinkedIn