ගිනි අවි ආඥා පනත යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (23) අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රන්දීර් ආසිරි රුද්‍රිගෝ සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඉන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු 07 දෙනා ලබන 07වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරංගි මහත්මිය නියෝග කර තිබේ.
දිවුලපිටිය, දූනගහ, හේන්පිටගෙදර පාසල අසළදී පොලිස් විශේෂ කාර්යය බලකාය සහ අපරාධකරුවන් පිරිසක් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයෙකු ඊයේ දිනයේ දී මිය ගියේය.
මේ අතර අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගුගේ බිරිඳ වන ඉන්දියානු ජාතික කාන්තාවද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරිය ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
දිවුලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගුගේ නිවසේ තිබී විවිධ වර්ගයේ ජීව උණ්ඩ 115ක්, වෙඩි නොවදින කබායක් සහ පිස්තෝල රඳවනයක් සොයාගෙන තිබුණි.
ඒ සම්බන්ධයෙන් රන්දීර් රොද්‍රිගු මහතාගේ බිරිද වන ඉන්දීය ජාතික හර්ජෝට් කෝර් වත්තල පොලීසිය මඟින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.










