හෙට (25) පස්වරු 01.00ට වෛද්‍ය සභාවේදී පැවැත්වෙන හදිසි සාකච්ඡාවක් සඳහා සහභාගී වන ලෙසට වෛද්‍ය සභාවේ සියලු සාමාජිකයන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කර ඇති වෛද්‍ය විද්‍යාල සඳහා අවශ්‍ය අවම ප්‍රමිතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා ඇති බව සඳහන් වේ.
ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව වෛද්‍ය සභාව මෙසේ හදිසි රැස්වීමක් කැඳවා ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයා, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා මෙන්ම වෛද්‍ය සභාවේ නව සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට සහභාගී වී තිබුණි.
එම සාකච්ඡාවේදී වෛද්‍ය විද්‍යාල සඳහා වන අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර වෛද්‍ය සභාව මඟින් ඉදිරිපත් කර ඇති අවම ප්‍රමිතීන් සංශෝධනය කර ගැසට් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.










