මහාධිකරණ විනිසුරු ඉලංචේලියන්ගෙන් ඓතිහාසික තීන්දුවක්

හින්දු දේවස්තානවල සිදුකෙරෙන බිලි පූජා තහනම් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාරගර් ඉලංචේලියන් මහතා විසින් අද (24) ඓතිහාසික තීන්දුවක් ලබාදී තිබේ.

කවුනාවත්තේ නරසිම්මර් කෝවිලෙහි වාර්ෂිකව පැවැත්වෙන බිලි පූජා කර්මයට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ පැවැති නඩු විභාගයක තීන්දුව ලබා දෙමින් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාරගර් ඉලංචේලියන් මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

මිනිසුන් දසදහසක් පහලොස් දහසක් වැනි පිරිසක් රැස්වන කෝවිලක් වැනි පොදු ස්ථානයක කුකුළන් හෝ එළුවන් තුන් සීයයක් හෝ පන්සියයක් ඝාතනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව නඩුවේ තීන්නදුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා තිබේ.

බිලි පූජාවට පක්ෂව කරුණු දැක් වූ පාර්ශ්වය සඳහාන් කර ඇත්තේ අවුරුදු 300ක් පමණ පැරණි චාරිත්‍රයක් වූ මෙම කටයුත්ත තහනම් කිරීම යුක්ති සහගත නොවන බවයි.

නමුත් ඊට එරෙහිව කරුණු දැක් වූ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙතෙක් කලක් මෙම චාරිත්‍රය කරගෙන යාමට භාවිත කර ඇත්තේ මස් කඩ නීතිය බවයි.

මෙහිදී වරින් වර රාජකාරී කළ ප්‍රාදේශීය ලේකම්වරුන් අත්තනේමතික ලෙස මෙලෙස සතුන් මැරීමට බලපත්‍ර ලබා දී ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

2014දී මෙම බිලි පූජා කටයුතුවලට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අනුමැතිය ලබා දී තිබුණද එවැනි අනුමැතියක් ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලය නොමැති බව පැවැසූ මහාධිකරණ විනිසුරු වරයා මෙවැනි  අනුමැතියක් ලබා දීමට බලය ඇත්තේ මහාධිකරණයකට, අභියාචනාධිකරණයකට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයකට පමණක් බව ප්‍රකාශ කර තිබේ.

පොදු ස්ථානවල මස්කඩ නීතියට අනුව බිලි පූජා පැවැත්වීමට නොහැකි බවට වැඩි දුරටත් කරුණු දක්වා ඇති විනිසුරුවරයා පොදු බස් නැවතුමක, පාසල් භූමියක, දළඳා මාළිගාවේ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පල්ලියේ හෝ යපනය නල්ලූර් කෝවිල වැනි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගැවසෙන ස්ථානවල ප්‍රසිද්ධියේ සතුන් මැරීමට පළාත් පාලන ආයතන අනුමැතිය ලබා දෙන්නේ දැයි ප්‍රශ්න කර තිබේ.

මේ සියලු කරුණු සලකා බලමින් යාපනය මහාධිකරණ විනිසුරුවරයා යාපනය අධිකරණ බල සීමාව තුළ මින් අනතුරුව බිලි පූජා පිණිස සතුන් මැරීම තහනම් කර ඇත.

කිසියම් පුද්ගලයකු හෝ පුද්ගලයන් පිරිසක් මින් ඉදිරියට මෙම නියෝගය කඩ කරමින් කටයුතු කළහොත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උතුරු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මහාධිකරණ විනිසුරු ඉලංචේලියන් මහතා මෙහිදී නියෝගයක්ද කර තිබේ.

Facebook
Twitter
LinkedIn