තෙල් වෘත්තීය සමිති නායකයන් හා මෛත‍්‍රි ජනාධිපති අතර පළමු සාකච්ඡාව සිදුවුණේ පසුගිය බදාදාය. එහිදී මෛත‍්‍රී කියා තිබුණේ වරාය බදුදෙන ගිවිසුම අනිවාර්යෙන්ම සංශෝධනයට ලක්කරන බවය. ඒ සඳහා කාලය ලබාදෙන බවය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු හරහා එකී සංශෝධන ඉදිරිපත් කරන ලෙසත්, වෘත්තීය සමිතිවලට දැනුම් දුන්නේය. එපමණක්ද නොව, ඊළඟ සතියේ අඟහරුවාදා වන තෙක් ගිවිසුම අත්සන් කිරීම ප‍්‍රමාද කරවන බවටද ස්ථිර ලෙස පොරොන්දුවක් දුන්නේය. රටේ ප‍්‍රධාන පුරවැසියා ජනාධිපතිවරයා ලෙස කියූ වචනය හරියටම අකුරටම ඉටු වේවි යැයි වෘත්තීය සමිති නායකයෝ කල්පනා කලහ. ඒ බරින්ම රට හමුවේ මේ බව ප‍්‍රකාශ කළහ.
එහෙත් එදිනම රාත‍්‍රී මුණ ගැසුන මලික් සමරවික‍්‍රම ඇමතිවරයා සමග හෝ වෙනත් කවර හෝ ඇමතිවරයෙකු සමග මෛත‍්‍රී මේ ගැන කතා කර නොතිබුණි. ඇමතිිවරු ගණනාවක් රාත‍්‍රියේදී මෛත‍්‍රීව හමු වුවද වෘත්තීය සමිතිවලට එවන් පොරොන්දුවක් දුන් බවට වචනයක්වත් කතා කර නැත. ඇමතිවරයා සමග හෝ කතා කළ බවක් දැන ගන්නට නැත. ඒ නිසාමදෝ සිකුරාදා දහවල් වනවිට අගමැතිවරයා රට හමුවේ කියන්නේ ගිවිසුම අනිවාර්යෙන්ම සෙනසුරාදා උදේ අත්සන් කරන බවය. ජනාධිපතිවරයා ගිවිසුම ඊළඟ අඟහරුවාදා වනතෙක් අත්සන් කරන්නේ නැහැ කියනකොට අගමැතිවරයා අනිවාර්යෙන්ම සෙනසුරාදා අත්සන් කරන බව කීවේය. අන්තිමේ සිද්ධ වුණේ මෛත‍්‍රී කියපු දේ නොවේය. රනිල් කියපු විදිහටම ගිවිසුම අත්සන් කළේය.
ගිවිසුමෙන් රටට වෙච්ච පාඩුවට වඩා මේ වෙච්ච දේ දේශපාලනයේ ලොකු කතා බහකට ලක් වුණේය. ඒ කියන්නේ මෛත‍්‍රීගේ වචනය කිසිදු බලයක් නැති වැදගත් කමක් නැති වුණ එක ගැනය. ඇත්තටම මේකෙන් මෛත‍්‍රී නිකම්ම නිකන් රූකඩයක් දෝ යන්න කතා බහට ලක් වුණේය. සිද්ධ වෙච්ච දේ දිහා බැලුවම ඒක එහෙමම තමාය. මේ වෙච්ච ලැජ්ජාව වහගන්න මෛත‍්‍රී පහුවදාම තද සැර කතාවක් කළේය. “පැහැදිලිවම සංශෝධනයට ඉඩ තියෙනවා. එක බිම් අඟලක්වත් අපි විකුණන්නේ නැහැ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කාටවත් දෙන්නේ නැහැ.” කියාගෙන කියාගෙන ගියේය. ලැජ්ජාව වහගන්න ආරූඪ කරගත්ත තද බවක් පෙන්නුවේය. මෛත‍්‍රිගේ මෙවැනි හැසිරීම් මීට ඉහතින් වාර ගණනාවකදී දැක ඇත්තේය.
බැසිල් රාජපක්ෂලා අලුත් පක්ෂයක් හදන්න උත්සාහ කරන රාවයක් මාධ්‍ය මගින් වාර්තා වුණි. ඒකට ශ‍්‍රීල.නි.ප.යේ මන්ත‍්‍රීවරු කණ්ඩායමක්ද එකතු වෙන කතාවක් ප‍්‍රචාරය විය. කෝපයට පත් වෙච්ච මෛත‍්‍රී පහුවදාම රැස්වීමකදී කිව්වේ “සමහරු අලුත් පක්ෂ හදන්න උත්සාහ දරනවා. බලමු හදයිද කියලා. එහෙම ආවොත් ඒ හැමෝම මහ පාරේ ඇවිද්දෝනවා” ලෙසින්ය. එහෙත් මහින්ද රාජපක්ෂ කණ්ඩායම අලුත් පක්ෂයක් හැදුවේය. මේ වෙන තෙක් මහ පාරේ ඇවිද්දවපු කෙනෙක් දැක්කේ නම් නැත. එහෙම එකක් කිව්වද කියලවත් මෛත‍්‍රීට මතකද යන්නත් සැක සහිතය.
ගාල්ලේ රැස්වීමට ගිහිල්ලා මේ ජාතියේම කතාවක් කළේය. මාතර ගිං නිල්වලා ව්‍යාපෘතියේ විශාල මුදල් වංචාවක් සිදුව ඇති බව කිව්වේය. හරියටම දෙදහස් පහළොවේ ජනවාරි හත් වෙනිදා කෝටි ගාණක මුදලක් චීන කම්පැනියකට ගෙවලා තියෙනවා යැයි කිිව්වේය. ඒ කියන්නේ ජනාධිපතිවරණයට කලින් දවසේ සල්ලි ගෙවලා තියෙන බවය. ඒ විතරක් නෙවෙයි, එහෙම ගෙවපු සල්ලිවලට අදාළව වැඩක් කෙරිලා නැති බවත් අවධාරණය කළේය. මේ ගෙවීමට සෘජුවම සම්බන්ධ එවකට සිටි වාර්මාර්ග ඇමතිවරයාය. ඒ කියන්නේ නිමල් සිරිපාලය. ඒ වෙලාවේ සිරිපාල හොඳටම කලබල වුණේය. ඒත් වෙච්ච දෙයක් නැත. අද වෙනකොට සිරිපාලට ඒ ගැන වගේ වගක් නැත. සිරිසේනටත් වගේ වගක් නැත.
ජනාධිපතිවරණය වෙලාවේ කියපු කතාවත් මේ වගේමය. “කටුනායක ගුවන්තොටුපළ වහලා හරි හොරු ටික අල්ලනවා. එකෙකුටවත් පැනලා යන්න දෙන්නේ නැහැ” යැයි එදා කීවේය. ඒත් ඡන්දේ ඉවර වෙච්ච ගමන් බැසිල් පාන්දරින්ම පැනලා ගියේය. හිටපු පොලිස්පති බාලසූරිය පැනලා ගියේය. ආරක්ෂ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය වූ දමයන්ති පැනලා ගියේය. ඒ විදිහට රොත්තක්ම පැනලා ගියාය. මෛත‍්‍රීගේ වචනය නිකම්ම හිස් වචනයක්ම විය. හොරු අල්ලලා දඬුවම් කරනවා කිව්වට අන්තිමේදී හිටපු හොරු ටික ඔක්කොම ඔඩොක්කුවේ දා ගත්තේය. ළඟදී නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස පත් කලෙත් ඒ වගේම ජනතා මුදල් කාබාසිනියා කරපු හාදයෙක්ය. අද වෙනකොට ඒ ආණ්ඩුවේ හොරාකාපු එස්.බී.ලා, රාජිතලා මෛත‍්‍රීව යටකරගෙන ආයෙත් වැඩ පටන් අරගෙන අවසන්ය.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය දෙන්නේ නැහැ කීවේ දීගන්න බැරුව ඉන්න නිසා මිස ප‍්‍රතිපත්තිමය ලෙස විරුද්ධ නිසා නොවේය. දකුණ ජැටිය චීනයට දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවය. ඒ නිසාම නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න ලක ලෑස්ති වුණේය. ඒ අරමුණෙන්ම කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළේය. දකුණු ආසියාවේ වැඩිම ධාරිතාවයකින් බහාලුම් කටයුතු කරන සමාගමකට ඉල්ලුම් කළ හැකිවන පරිද්දෙන් පත‍්‍රිකාව දැම්මේය. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල සමාගම් ඉල්ලුම් කළහ. අන්තිමට බැලුවම වැඩිම ධාරිතාවක් ඇති සමාගම වුණේ බංග්ලාදේශයේ වූ සමාගමක්ය. ඒකේ පැටිකිරිය හොයලා බැලපුහම ඒක චීන සමාගමක්ය. එහෙම ගත්තම ඒකත් දෙන්න වෙන්නේ චීනයටය. ඉන්දියාව මේකට තදින්ම විරුද්ධ වුණේය. ඒ නිසාම කැබිනට් පත‍්‍රිකාව පස්සට ගත්තේය. සිද්ධ වෙච්ච දේ මේකය. දැන් හිරවෙලා තියෙන්නේ එතනය. චණ්ඩියා වගේ දෙන්නේ නැහැ කියන්නේ ඒ නිසාය. කොහොම වුණත් ඔය වගන්ති වෙනස් තරලා ඉන්දියාවට දෙන ක‍්‍රමයක් රනිල් හොයා ගත්තම මෛත‍්‍රීගේ ඔය ප‍්‍රකාශයත් නිකම්ම නිකන් පුස්සක් වන්නේය.
මෛත‍්‍රී අලුතින් කියපු කතාව ඊටත් වඩා විහිලුකාරීය. “මගේ ආශිර්වාදය නැතුව කාටවත් ආණ්ඩු හදන්න බැහැ” යන්න ඒ කතාවයි. මේ කතාව කියන්න හේතු වුණෙත් එහෙම ආණ්ඩුවක් හදන කතාවක් ආණ්ඩුව ඇතුළෙන්ම මතුවෙච්ච නිසාය. ශ‍්‍රීල.නි.ප.යේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් යන කතාවක් පහුගිය කාලයේ කතා වුණි. ඒ වගේම තව ශ‍්‍රීල.නි.ප.යේ පිරිසක් යූ.එන්.පී.යට යන්න සූදානම් බවකුත් ආරංචි විය. කොහොම වුණත් වෙන්න යන අලකලංචිත් එක්ක රනිල් තනිවම ආණ්ඩුවක් හදන බවට ඇතුළේ ලොකු හා හූවක් ඇති වුණේය. මේවට කලබල වෙච්ච නිසාම මෛත‍්‍රි අර ජාතියේ කතාවක් කළේය.
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගමැති හා ඇමතිවරු පත් කරන්නේ ජනාධිපතිවරයාය. අගමැතිවරයා පත්කිරීමේ වගන්තිය පරණ ව්‍යවස්ථාවේ තිබූ එකමය. එහෙත් ඇමතිවරු පත් කරද්දී ජනාධිපතිවරයාට තනිවම පත්කරන්නට හැකියාවක් නැත. අගමැතිවරයාගෙන් විමසා ඔහුගේද කැමැත්ත ඇතිව පත් කළ යුතුය යන්න රනිල් දහ නවයට ඇතුල් කර ගත්තේය. ඒ නිසාම තත්ත්වය කලින්ට වඩා සංකීර්ණය. ප‍්‍රධාන තනතුරු පත් කරද්දී ජනාධිපතිවරයාට ඕන ඕන විදිහට තනතුරුවලට පුද්ගලයන් පත් කරන්නට හැකියාවක් නැත. ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ගත යුතුය. ඒ වගේම අවුරුදු හතර හමාරක් යනතෙක් මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් මෛත‍්‍රීට ඇත්තේම නැත. ඒ කියන්නේ දෙදහස් විස්සේ පෙබරවාරි වෙනතුරු විසුරුවා හැරිය නොහැකි බවය. එහෙම ගත්තහම කවුරු හෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ යැයි කිව්වොත් ඔය කතාවටත් වලංගුභාවයක් නැති වන්නේය.
අගමැතිවරයා සුළුතර කණ්ඩායමකින් පත්කළ හැකිය. අනෙක් පැත්ත නිහඬ නම් එය පවත්වාගෙන යා හැකිය. එහෙත් අනෙක් පැත්ත බහුතරය විරුද්ධ වුණ තත්ත්වයකදී පැවැත්මක් නැත. අද රටේ තියෙන තත්ත්වය ගත්තොත් අලුත් ආණ්ඩුවක් හදන්න අවශ්‍ය වෙන්නේ මෛත‍්‍රීගේ ආශිර්වාදය නොවේය. රටේ ජනතාවගේ ආශිර්වාදය තියෙනවා නම් ඕන කෙනෙකුට අලුත් ආණ්ඩුවක් සෑදිය හැකිය. තනි පුද්ගලයෙකුගේ ආශිර්වාදය දැන් කිසිසේත්ම වලංගු වන්නේ වන්නේ නැත. කොහොමටත් දැන් මේ ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් දෙකටම රටේ ජනතාවගේ ආශිර්වාදයක් නැත. ඒ වෙනුවෙන් ඇත්තේ බලවත් විරෝධයකි. ඒ නිසාම මෛත‍්‍රීගේ ආශිර්වාදය තිබූ පළියට ආණ්ඩුව හදන්න රටේ ජනතාව ඉඩ තියන්නේ නැත.
කාලෙන් කාලෙට මෛත‍්‍රී කියන මේ ජාතියේ කතාවලින් හෑල්ලුවට ලක්වෙන්නේ ආණ්ඩුවේ නායකයාය. මේවා ගොඩ දාගන්න හැමදාම හවසට හවසට දේශන පවත්වන්න ගිහින් තව තවත් හෑල්ලු වන්නේය. කොටින්ම ගත්තොත් මෛත‍්‍රී කියන දේවල් වලට කිසිදු වලංගුභාවයක් නැති බව දැන් රටේ ජනතාවගේ අදහසය. ඒක වෙනස් කරන්න පේන තෙක් මානයක හැකියාවක් තියෙන බවක් පෙනෙන්නට නැත. පහුගිය ජනාධිපතිවරණයේදී දීපු ප‍්‍රධාන පොරොන්දුවට සිද්ධවෙලා තියෙන්නේ ඒ ටිකමය. ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුවේදී නිමල් සිරිපාල කිව්වේ ඒ කතාවය. “එදා ජනාධිපතිවරණයේදී මෛත‍්‍රී විධායකය අහෝසි කරනවා කිව්වේ තනි පුද්ගලයෙකු ලෙසින්ය. එහෙත් අද පක්ෂයේ සභාපතිවරයා ලෙස මෙහෙම කියන්න එයාට අයිතියක් නැහැ. අද අපි කියන විදහට අපේ අදහසට අනුව තමයි එයා වැඩ කරන්න ඕනෑ.” අද පක්ෂයේ අදහස විධායකය තියා ගැනීමය. මෛත‍්‍රී ජනතාවට දීපු ප‍්‍රධානම පොරොන්දුවත් නිකම්ම නිකන් පුස්සක් බවට පත් වන්නේ මේ අනුවය.
දැනටමත් ඒ ටික සිද්ධවෙලා අවසන්ය. අද වෙනකොට ඒ ගැන වචනයක්වත් කතා කරන්නේද නැත. කලින් හිටපු ජනාධිපතිවරු වගේම මෛත‍්‍රී ඉතිහාසයට එකතු වන්නේ ඒ අනුපිළිවෙළටය. එහෙත් මෛත‍්‍රීට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඒ අය මුහුණ දුන්නාට වඩා බරපතළ නින්දා අපහාසය. චෝදනාය. ශ‍්‍රීල.නි.ප.යත් දාලා ඇවිල්ලා පක්ෂයත් ජනතාවත් රවට්ටපු ප‍්‍රධානම පුද්ගලයා බවට මෛත‍්‍රී පත්වීම මේ යන විදිහට කිසිවෙකුට වැළැක්විය නොහැක.
ලංකා ඉරිදා සංග්‍රහය










