මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ චෝදනා එල්ල වී ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථන දත්ත විශ්ලේෂණයෙන් හෙළිව ඇති කරුණු අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට සිදු වනු ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.
අදාළ දුරකථන දත්ත වාර්තාව අනුව ඇලෝසියස් විසින් යවන ලද කෙටි පණිවිඩ කිහිපයකම ‘Hon PM’,‘Get a copy from PM’ ආදී වශයෙන් සඳහන් වී ඇති අතර එහි PM ලෙස හඳුන්වා ඇත්තේ, අගමැති රනිල් වික‍්‍රමසිංහ බවටද සාකච්ඡා වෙමින් ඇත. මෙහි පිටු 8,000ක දුරකථන විස්තර අඩංගු වී තිබේ.
එමෙන්ම අදාළ බැඳුම්කර වංචාව වන අවස්ථාවේ දී ද ශ‍්‍රී ලංකා මහ බැංකුව පැවතුණේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ අමාත්‍යාංශය යටතේ වන අතර අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කිරීමට කැබිනට් මණ්ඩලයේ විරෝධයක් ඇති වූ අවස්ථාවේ දී අගමැතිවරයා විසින් තමන් වගකීම භාරගෙන ඔහු මහ බැංකු අධිපති ලෙස පත් කරන ලෙස කළ යෝජනාව අනුව ජනාධිපතිවරයා විසින් එම පත් කිරීම සිදු කරන ලදී.
කෙසේ වෙතත් අගමැතිවරයා මෙම කොමිසම හමුවට කැඳවන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් කොමිසම විසින් මේ දක්වා තීරණය කර නැත. යම් හෙයකින් එසේ වුවහොත් එජාපයේ බරපතළ දේශපාලන ප‍්‍රතිවිරෝධයක් හට ගනු ඇති අතර එය ආණ්ඩුවේ පැවැත්මටද ඉතා අහිතකර ලෙස බලපානු ඇත.
ලංකා ඉරිදා සංග්‍රහය










