කිරි ගොවි ගැටළු සම්බන්ධයෙන් පසුගියදා එම ගොවීන් විසින් දඹුල්ලේදී පැවැත්වූ විරොධතාවය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් දැනුම්දීම අනුව ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී කඩිනම් හා දීර්ඝකාලීන තීන්දු තීරණ කිහිපයකට එළඹූණු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඒ අනුව කිරි ගොවීන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූ අඹේවෙල ඉදිකර ඇති කිරි කර්මාන්ත ශාලාව වහාම විවෘත කර නිශ්පාදන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන්වී ඇති අතර එහිදී ජනාධිපති නිලධාරීන් ඒ මොහොතේම පී. හැරිසන් අමාත්‍යවරයා අමතා මේ ගැන විමසා තිබේ. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ එහ විවෘත කිරීමට තවත් මාසයක් කල් ගත වන බැවින් ලබන මාසය තුළ අනිවාර්යයෙන් එය විවෘත කරන බවයි.
එමෙන්ම කිරි ගවයන්ගේ සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී පශු වෛද්‍යවරුන් සම්බන්ධ ප්‍රශ්න ගැන සාකච්ඡා කර ඇති අතර එය කඩිනමින් විසඳීමටත් ජනාධිපති නිලධාරීන් එකඟතාවය පළ කර ඇත.
කිරි මිලදීගැනීම, මිලදී ඟන්නා කිරි ප්‍රයෝජනයට නොගෙන ඉවත දැමීම සහ කිරි සඳහා ලැබිය යුතු මුදල් නිසි ලෙස බැර නොවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඒ සම්බන්ධයෙන්ද කඩිනමින් ක්‍රියාත්මක වීමට එම නිලධාරීන් එකඟ වී තිබේ.
එමෙන්ම සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මතුකළ විශේෂ ප්‍රශ්නයක් වූ කිරි ගවයන් ආනයනය සහ එම ගවයන් දේශපාලන හිතවතුන් අතරේ බෙදාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති අතර එහිදී කිරිගවයින් මිලදීගැනීමේ විධිමත් ක්‍රමවේදයක් අනුගමණය කිරීමට අදාළ මැදිහත්වීම සිදුකිරීමටත් එම නිලධාරීන් එකඟ යී ඇත.
විශේෂයෙන් වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු රුපියල් 20කින් කිරි ලීටරයක මිල ඉහළ දැමූ බැවින් කිරි ආශ්‍රිත නිශ්පාදන වියදම් විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවත් නමුත් එහි බර පාරිභෝගිකායාට නොදී කිරි ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂාවන පරිදි මෙහි අතරමැදි ක්‍රියාවලියට රජය මැදිහත්විය යුතු බවත් විශේෂයෙන් මේ වනවිට කඩා වැටෙමින් තිබෙන කිරි ආශ්‍රිත නිශ්පාදන කාර්මාන්ත කරුවාට සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ඒ සඳහාද වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් මෙම සාකච්ඡාවේදී ගොවීහු අවධාරණය කර තිබේ.
මෙම එකඟතා සම්බන්ධයෙන් සහ කිරි ගොවියන්ගේ අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමණය කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සතියක් ඇතුළත සමස්ත ලංකා ගොවිජන සම්මේලනය දැනුවත් කිරීමටත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් එකඟ වී තිබේ.











