උමා ඔයේ අර්බුදයට විසඳුම් නොදුනොත් ආණ්ඩුවෙන් යනව කියන හරීන්ගේ ඇත්ත භූමිකාව මේකයි

උමා ඔයේ අර්බුදයට විසඳුම් නොදුනොත් ආණ්ඩුවෙන් යනව කියන හරීන්ගේ ඇත්ත භූමිකාව මේකයි

“උමා ඔයට එරෙහි ජනතාවගේ විරෝධය සාධාරණයි. ආණ්ඩුව මේ ප්‍රශ්නය හරියට විසඳුවේ නැත්නම් මටත් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටින්න වෙනවා. තවමත් මේ ප්‍රශ්නයට හරියට විසඳුමක් නැහැ” යැයි ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති, වත්මන් රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (28) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියද ඔහුට සෑබෑලෙසම මෙම ප්‍රශ්නය විසඳනවා වෙනුවට ජනතාව නොසළකා හරිමින් අදාළ ව්‍යාපෘතිය දිගටම සිදුකරගෙන යාමට අනුමැතිය දුන් අයෙකු බව අනාවරණය වේ.

මේ බව අනාවරණය වන්නේ උම ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පුවත්පතකට ලබා දී තිබූ සම්මුඛ සාකච්ඡාවකිණි.

එහිදී මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ මෙම විනාශකාරී ව්‍යාපෘතිය 2007 වසරේ ආරම්භ කළ අවධියේ සිටම මෙම ව්‍යාපෘතිය නිසා සිදුවන විපත රටටත් ජනතාවටත් එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටත් කොතෙකුත් පැහැදිළ කළද එය ගණන් නොගත් බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පැමිණි පසු 2015 මාර්තු 20දා ඔහුගෙන් සාකච්ඡවක් ලබාගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස රවි කරුණානායක, පාඨලී චම්පික, හරෙන් ප‍්‍රනාන්දු, නිමල් සිරිපාල, ඩිලාන් පෙරේරා, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් සහිත කැබිනට් අනුකමිටුවක් පත් කළ බවත් සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

ඉන් පසු හරීන් ප්‍රනාන්දු මහතාට වරින්වර දුරකථන ඇමතුම් ලබා දෙමින් හානි වී ඇති ප්‍රදේශවල සංචාරයක් සිදු කරණ ලෙසත් තීන්දු තීරණ ගැනීමට පෙර හානිය නිරීක්ෂණය කරණ ලෙසත් කොතෙකුත් දැනුම්දුන්නද ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා විපතට පත් ජනතාව වෙනුවෙන් පිහුටුවා ඇති සංවිධානයට අදහස් දැක්වීමට හෝ ඉඩක් ලබා නොදී මෙම ව්‍යාපෘතිය එසේම කරගෙන යා යුතු යැයි ඒකමතිකව ඔවුන් සියළු දෙනාම තීරණය කළ බවත් සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් ඒ මහතා සිදු කරණු ලබන අනාවරණය පහතින් පළ වේ.

ප්‍රශ්නය:- මධ්‍ය කඳුකරය තුළ පාරිසරික විනාශකාරී සලකුණු දැනටත් සටහන් කර ඇති උමා ඔය සංවර්ධන ව්‍යාපාරය ඉදිරියේදී විශාලතම පාරිසරික ව්‍යසනයක් හා මානව ඛේදවාචකයක් ඇති කරවීමේ බලවත් අනතුරක් තිබෙනවා. මේ තත්වයට එරෙහි ජන අරගලය ගැන කීවොත්.

පිළිතුර:- මම අද මාධ්‍යයට සාකච්ඡා කරන මොහොත වෙනවිට මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම නුවරඑළියේ සිට මහියංගනය සහ වැල්ලවාය දක්වා වූ බෑවුම ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, වැලිමඩ, හාලිඇල, බණ්ඩාරවෙල, ඇල්ල, වැල්ලවාය කියන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මේ වනවිට නිවාස පූපුරා ගිය ප‍්‍රමාණය 7037යි. ඒ අතර පන්සල්, පල්ලි, පාසල්, ව්‍යාපාරික ස්ථාන තියෙනවා. මේ ප‍්‍රදේශයේ සිඳීගිය ළිං, දිය කඳුරු, ඔයවල්, පොකුණු, කුඩා වැව් ප‍්‍රමාණය 3112යි. අපි කියන මේ වෙච්ච විනාශය පොඩියි. වෙන්න තියෙන විනාශය වැඩියි.

දැන් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ ඒකාබද්ධතාවය බිඳදාලා ඉවරයි. විශාල පිපුරුම් ඇතිවෙලා තියෙන්නේ. ඒ පිපුරුම් නිසා තමයි උඩ නිවාස පුපුරන්නේ. ඒ පිපුරුම් එන්නේ අඩි 1000ක් පමණ යට ඉඳලා. මේ පොළව කැබලිවෙලා. මේ අතරෙ 2014 මීරියබැද්ද නාය ගියාට පස්සේ අපි විද්‍යාත්මක පරීක්ෂණයක් තියන්න කිව්වාට පස්සෙ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් කර රජයට වාර්තාවක් දී තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භුමි ප‍්‍රමාණය 66.9%ක් නායයෑමේ අවදානමක තිබෙන්නේ. නායයාම් අවදානමෙන් තියෙන භුමියක මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් කිරීමෙන් ඒ නාය යාම දෙගුණවෙනවා. ඉදිරියේදී මහ වැසි සමග හෝ පුංචි හෝ භුමිකම්පාවක සිදුවිය හැකි අනතුරේ දිග පළල අපට කියන්න බැහැ.

දැන් වෙනකොට මේ උමගේ කාන්දුව තප්පර එකට ලීටර් 2562ක්. උමගේ දිය කාන්දුව පරීක්ෂා කරන්න කොළඹින් ආපු නිලධාරීන් ඇතුලට ගියේ බෝට්ටුවකින්. මෙච්චර දවසක් උමග ඇතුලට ගියේ කෝච්චියෙන්. විදින මැසින් එකේ ගල් කුඩු කැබැලි ප‍්‍රවාහනය කළේ කොච්චියෙන්. දැන් කෝචිචියට යන්න බැරි තත්වයකට උමග ඇතුලේ වතුර එනවා. උමගෙ ඇතුලෙ බෝට්ටු ධාවනය පටන් ගත්තා. මධ්‍යම කඳුකරයේ මතුපිට කබොල්ල සෑහෙන්න විනාශකරල තියෙන්නේ. පරිසරය විනාශවෙලා. හැබැයි මතුපිට කබොල්ල විනාශ වුණාට භු අභ්‍යන්තරය විනාශ කරලා තිබුණේ නැහැ. මධ්‍යම කඳුකරයේ භු අභ්‍යන්තරය තමා මේ විනාශ වෙන්නේ. හදවතේ අභ්‍යන්තර රුධිර නාලවල ලේ වහනය පිටට සිදුවුනොත් මරණය ඒකාන්තයි කියල කියන්නේ. අභ්‍යන්තරයේ තිබෙන වටිනා ජලය තප්පරයට ලීටර් 2562ක් යනවිට ගණන් හදලා බලන්න, දවසකට කොපමණ වතුර ප‍්‍රමාණයක් කාන්දුවෙනවද කියා. කෝටි දෙකට දවසකට අවශ්‍ය ජලයට වඩා වැඩි ප‍්‍රමාණයක් මෙතනින් පිටවී යනවා. මේක බරපතළ ව්‍යවසනයක්. මේවායේ අනාගත ප‍්‍රතිවිපාකයේ දිග පළල කියන්න අපි සමත් නැහැ. ඒ සඳහා පුළුල් විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුය බව අපි විශ්වාස කරනවා.

මේ සම්බන්ධයෙන් අපි සටන පටන් ගත්තේ අද ඊයේ නොවේ. උමා ඔය ව්‍යාපෘතියට මුල්ගල තිබ්බේ 2007 අප්‍රේල් මාසේ 29වෙනිදා. ඒ කියන්නේ මහින්දගේ පාලන යුගයේ. මේ ව්‍යාපෘතිය බාරව සිටියේ චමල් රාජපක්ෂ ඇමතිවරයා. අපි මේ ව්‍යාපෘතිය ගැන අධ්‍යයනය කරලා මෙය කරන්න එපා කියලා පාර්ලිමේන්තුවේදී හඬනැගුවා. පළාත් සභාවල අපේ මන්ත්‍රීවරු කිව්වා. මාධ්‍යයට කිව්වා. ඒ දේශපාලඥයෝ මෙයට ඇහුම්කන් දුන්නේ නැහැ. ඊට පස්සේ අපි තීන්දුවක් ගත්තා මේ මහා විනාශය වළක්වන්න, විනාශය පූර්වයෙන් දැකපු කණ්ඩායමක් හැටියට, පාලකයෝ ඇහුම්කන් දෙන්නේ නැති නම් ජනතාවත් සමග එකතුවී මෙය පරද්දන්න ඕන කියලා. අපි ඒ සඳහා හැදුවා උමා ඔය සුරකීමේ ජනතා ව්‍යාපාරය කියල සංවිධානයක්. දේශපාලන ජාතිබේද තිබුණේ නැහැ. උගත් බුද්ධිමත් වෛද්‍යවරු, නීතිඥවරු ගම්වැසියො එකතුකර අපි සංවිධානයක් හැදුවා. එමගින් තීරණය කළා ජනතාව දැනුවත් කර මේ මහා විනාශය නතරකරන්න, මහා ජන පෙරමුණක් හදන්න.

නමුත් රාජපක්ෂ යුගයේ මිනිස්සු බයවුණා අපි සමග එකතු වෙන්න. අපි සමහර ගම්වලට ගියාම ජනතාව අපට කථාකරන්න වත් ඉඩ දුන්නේ නැහැ. අපේ රටේ තියෙනවා ක‍්‍රමයක්, මිනිසුන්ගේ ඔළුවටම වදිනකන්, බොක්කටම වදිනකන් සමහර ප‍්‍රශ්න තේරුම් ගන්නේ නැහැ. ඊට පස්සේ අපි කල්පනා කළා පාලකයන්ට කිවුවහම අහන්නේ නැතිනම්, ජනතාවට කිව්වහම ජනතාව තේරුම් ගන්නේත් නැත්නම්, එකතුවෙන්නේත් නැති නම් මේක නීතිය හමුවට ගෙනිහින් පරාජය කළ යුතුය කියලා. අපි සංවිධානය එකතුවෙලා කොළඹ නීතිඥ සමාගමක් හමුවෙලා අපේ පක්ෂයේත් සහයෝගය ඉල්ලාගෙන මේ නඩුව කියන්න සූදානම් වුණා. පිටු හයසීය ගනණක් වෙනකම් නඩුව සුදානම් වුණා. ඒ සඳහා මහාචාර්ය ජිනදාස කටුපොත, සජීව චාමිකර,  අතුල ප්‍රියන්ත, තිලක් කාරියවසම් ආදීන් උදව් වුණා. මේ සම්බන්ධයෙන් අපි රුපියල් 60,000ක් යන තෙක් මුදල් බැන්දා. නමුත් ඊළඟ වියදම් අපිට කරගෙන යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ලක්ෂ ගණනක මුදලක් අවශ්‍ය බව කීවා. අපි නඩුව  කරගෙන යන්න බැරිකමත් සමග අසරණ තත්වයට පත්වුණා.

අපි නැවතත් ජනතාවට කරුණු කියාගෙන යන අතරේ, මේ ගොල්ලන් දිගටම ඉදිකිරීම් කටයුතු කරගෙන ගියා. එවිටයි මහා විනාශයන් වෙන්න පටන් ගත්තේ. 2014 දෙසැම්බර් 26දා මහා දිය කාන්දුවක් මකුල්ඇල්ල ගමට යටින් මතුවෙන්නට ගත්තා. ඒ අනුව ගෙවල් පුපුරණ, ළිං හිදෙන එක ආරම්භ වුණා. ඊට පස්සේ අර සංවිධානය තිබියදී අලුත් සංවිධානයක් හැදුවා. ඒ, ‘උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ’ නමින්. ඒ පෙරමුණ පුළුල් ලෙස, මහා සංඝරත්නයත් පෙරටු කරගෙන මේ විනාශය නතර කරන මෙන් ඉල්ලා මහා උද්ඝෝෂණ, ජනතා රැලි පැවැත්වුවා. ඌවේ මහා සඟ සමුළුවක් තිබ්බා. සංඝ ආඥාවක් නිකුත් කළා. සංඝයා වහන්සේ දාහක් පමණ එකතුවෙලා, මහා නායක හිමි නමක් මුවින් ඒ සංඝ ආඥාව නිකුත් කළා. නමුත් මේ පාලකයෝ එය සැලකුවේත් නැහැ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාට පස්සෙ 2015 මාර්තු 20දා ඔහුගෙන් සාකච්ඡාවක් බොහොම අමාරුවෙන් ඉල්ලාගෙන ආචාර්ය, මහාචාර්යවරු, පරිසරවේදීන් ඇතුළුව පූජ්‍ය පක්ෂය සමග බස් පිටින් සෙනග ගියා පරිසර අමාත්‍යාංශයේ සාකච්ඡා කරන්න. ජනාධිපතිතුමා ඇවිත් කිව්වා විනාඩි 05යි දෙන්නේ, එක්කෙනෙක් පමණක් කථා කරන්න. එහෙමයි වර්තමාන පාලකයෝ සැලකුවේ. අපි කෑකෝ ගහලා විනාඩි 15ක් අරගෙන අපේ ප‍්‍රශ්නෙ කිවුවා. නමුත් එයත් ඒක හරියට තේරුම් ගත්තේ නැහැ. අන්තිමේදී එයා කිව්වා මේ සම්බන්ධයෙන් සොයාබලන්න කැබිනට් අනු කමිටුවක් පත්කරනවා. ඒ කමිටුවෙන් එන තීන්දුව අනුව ක්‍රියාකරනවා කිවුවා. කැබිනට් අනුකමිටුවට රවි කරුණානායක, පාඨලී චම්පික, හරෙන් ප‍්‍රනාන්දු, නිමල් සිරිපාල, ඩිලාන් පෙරේරා, රංජිත් මද්දුමබණ්ඩාර යන අය ඇතුලත් වුණා. කැබිනට් අනුකමිටුවට අපි ලිපි යැව්වා. දුරකථන ඇමතුම් දුන්නා. හරේන් ප‍්‍රනාන්දුට කිවා මේ ප‍්‍රදේශයට ඇවිත් තීන්දුවක් ගන්න කියලා. ඔය කණ්ඩායම හමුවෙන්න අපේ සංවිධානයට ඉඩක් දෙන්න කියලා. අඩුගානෙ අපිට කරුණු දක්වන්න දුන්නෙත් නැහැ. අපේ භුමියට ඇවිත් බැලුවෙත් නැහැ. පාර්ලිමේන්තු කාමරයකට රැස්වෙලා පැය දෙක තුනක් සාකච්ඡා කරලා ඒකමතිකව තීන්දුකරලා තිබුණා මේ ව්‍යාපෘතිය එසේම කරගෙන යා යුතුයි කියලා.

ඒ අනුව ඒ ව්‍යාපෘතිය මෛත්‍රීපාල සිරිසේනත් එහෙමම කරගෙන යනවා. මහින්දගේ යුගයේ මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කර තිබුනේ 16%යයි. දැන් 80%ක් දක්වා ඉදිකිරීම් කරලා තියෙනවා. වැඩිපුරම කළේ යහපාලන ආණ්ඩුව. ඒනිසා මහින්දත්, මෛත්‍රීපාල සිරිසේනත්, යහපාලන ආණ්ඩුවත් දෙකම එකතුවෙලා මධ්‍ය කඳුකරේ, ‘රටේ හදවත’ වැනසුව කියා අපට කියන්න තියෙන්නේ. මේක ජනතාවට විශාල පහරක් වැදිච්ච මොහොතක්. ගෙයක් නැහැ. බොන්න වතුර නැහැ. වඳින්න පූජනීය ස්ථානයක් නැහැ. පාසල පුපුරලා. ව්‍යාපාරික ස්ථාන විනාශවෙලා. කුඩා තේ වතු අඩාලවෙලා. කඳු පුපුරලා. ඒනිසා මිනිස්සු ඉන්නේ කොයිවෙලාවේ කුමක් වේද කියලා බයෙන්. පාලකයන්ට කියලා අඩුම තරමෙ අපට සාකච්ඡාවක් දුන්නේ නැහැ. පසුගිය දිනවල සාකච්ඡාවක් ඉල්ලලා ජනධිපතිට ලියුම් යැව්වා. කිසිම ප‍්‍රතිචාරයක් නැහැ. මේ පසුගිය 15දාත් ලියුමක් යැවුවා, මේක අවදානම් කලාපයක් කියා නම්කර ඉදිරි කටයුතු කරන්න කියලා. කිසිදු උත්තරයක් නැහැ. ඒ නිසා අපිට මේ බිමේ වැළලෙන්න බැහැ. මේ රට මේ විදියට වැනසෙන්න ඉඩදෙන්න බැහැ. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා ඇහෙන්නේ නැති, පේන්නේ නැති පාලකයන්ට ඇහෙන්න, පෙනෙන්න ජනතා බලයක් ගොඩනැගිය යුතුය කියා. 28දාට බණ්ඩාරවෙල නගරයට දසදහස් ගණනක ජනතාවක් රැස්කරලා අපි ජනතාවත් එක්ක එන්නේ නැගිටින්න බලාගෙන නොවේ. ඉතා පැහැදිලි උත්තරයක් බලාගෙන.”

Facebook
Twitter
LinkedIn