උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට බරපතල අනතුරකට මුහුණදී තිබෙන බණ්ඩාරවෙල ප්‍රදේශය අවධානම් කලාපයක් බවට පත් කරන ලෙස කරන ඉල්ලීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ අද (28) පෙරවරුවේ බණ්ඩාරවෙල නගරයේදී පැවැත්වීමට නියමිත මහා කළු හර්තාලයට සියල්ල සූදානම් බව එම ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
මේ වනවිටත් බණ්ඩාරවෙල නගරයේ ආපනශාලා හැර අනෙකුත් සියලුම කඩසාප්පු වසා දමා කළු කොඩි ඔසවා ඇති අතර පුද්ගලික බස් ධාවනයද නතර කර තිබේ.
බණ්ඩාරවෙල සියළුම පාසල්වට සිසුන් පැමිණ නැති අතර ස්ථාන දෙකකින් ආරම්භ කරන විරෝධතා පාගමනකින් දැවැන්ත ජන ගඟක් බණ්ඩාරවෙල නගරයට පැමිණීමට නියමිතය.
මෙම උද්ඝෝෂණය සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය, ප්‍රදේශවාසීන්, පරිසර වේදීන්, නීතීඥයින්, පාසල් ළමුන් ප්‍රවාහනය කරණ බස් රථ හා වෑන් රථ හිමියන්ගේ සංගමය, බණ්ඩාරවෙල වෙළඳ සංගමය, බණ්ඩාරවෙල තොග එළවලු වෙළඳපොල සංගමය ඇතුළු සැබෑ දේශප්‍රේමීන්ද උගතුන් හා බුද්ධිමතුන් බොහෝ පිරිසක් මේ වනවිටත් විරෝධතා පාගමන් ආරම්භ කරන ස්ථාන වෙත පැමිණ ඇති බවත් සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.























