පූටින්ගෙන් ඇමෙරිකාවට චෝදනා!

පූටින්ගෙන් ඇමෙරිකාවට චෝදනා!

ලෝකය පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට මූල්‍ය ආධාර සපයමින් තම දේශපාලන ආධිපත්‍ය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටින බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ප්‍රකාශ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පූටින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ වාර්ෂිකව සජීවීව රුසියානු ජනතාව සමග පැවැත්වෙන ප්‍රශ්නෝත්තර වැඩසටහනකදීය. රුසියාව බලවත් වන සෑම අවස්ථාවකදීම විවිධ හේතු දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදය මෙලෙස ක්‍රියා කරන බවත් ක්‍රිමියාව හෝ වෙනත් ප්‍රශ්නයක් නොමැති නම් ප්‍රශ්නයක් නිර්මාණයක කරමින් ඔවුන් ක්‍රියාත්මක වන බව  එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සම්බාධක ක්‍රියාවලියේ විපාක පිළිබඳ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පූටින් පවසා ඇත්තේ ඒ තුළින් යම් පීඩනයක් ඇති කරන නමුත් රටක් ලෙස නැගී සිටීමට සහ නිෂ්පාදන ක්‍රියාවලිය වඩ වඩාත් පණ ගැන්වීමට එය උත්තේජනයක් සපයන බවයි. ක්‍රිමියානු අර්ධද්වීපය රුසියාවට ඇඳා ගැනීමත් සමග ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පසුගිය 2014 වසරේ සිට රුසියාවට එරෙහිව සම්බාධක පනවා ඇතත් එම සම්බාධකවල අතුරු ප්‍රතිඵල යුරෝපයද භුක්ති විඳිමින් සිටී.

Facebook
Twitter
LinkedIn