ඩොප්ලර් රේඩාරය හිසේ සවිකළ ඇමති…

ඩොප්ලර් රේඩාරය හිසේ සවිකළ ඇමති…

මේ වනවිට ග්‍රාම නිළධාරී පුරප්පාඩු 1850ක් පමණ ඇතිවී තිබෙන අතර වසම් ගණනාවක වැඩබලන නිලධාරීණ් පත් කර තිබේ. එමෙන්ම ග්‍රාමනිලධාරීන්ගේ හිඟය නිසා ජනතාවට සපයන සේවා අඩාලවී ගැටලූකාරී තත්වයක් මතුවී තිබේ. පසුගිය වසරේ සැප්තැම්බර් මස එක්ලක්ෂ අසූදහසක පමණ පිරිසක් රුපියල් පන්සියය බැගින් ගාස්තු ගෙවා විභාගයට පෙනී සිටියද එහි ප්‍රතිඵල නිකුත් කර නොමැත. එසේ තිබියදී විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීන් පිරිසක් නැවත සේවයේ පිහිටුවීමට ආණ්ඩුවේ සැලසුමක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ජවිපෙ මන්ත‍්‍රී කණ්ඩායම මේ පිළිබඳව විෂය භාර ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට තීරණය කළහ. ඉන්පසුව පසුගිය හත්වෙනිදා පක්ෂ නායක අනුර දිසානායක වජිර අබේවර්ධන අමාත්‍යවරයාගෙන් මේ බව ප්‍රශ්න කළේය. ”ගරු කතානායක තුමනි පවතින පුරප්පාඩුවලට විශ්‍රාම ගියපු ග්‍රාමනිලධාරීන් පත්කරන්න යනවා. අදාල ප්‍රදේශවල ඇමතිවරුන්ගේ මන්ත‍්‍රීවරුන්ගේ නිර්දේශ මත තමයි මේක කරන්නේ.” අනුර දිසානායක කියා සිටියේය. ”ග්‍රාම නිලධාරී වසම් 14022න් 5700ක් ආපදාවට ලක්වෙලා තිබෙනවා. ඒ වගේම කොට්ඨාශ නීර්ණයේ ගැටලූ තිබෙනවනම්, ගැටලූ මතුවෙලා තිබෙනවනම් විශ්‍රාම ගිය නිලධාරියාම තියාගන්න අපිට උපදෙස් ලැබිලා තිබෙනවා. වහාම අපි බඳවාගන්න කටයුතු කරනවා.” ඇමතිවරයා කියා සිටියේය. ”නමුත් ඔබතුමා ලිපිය යවලා තිබෙන්නේ 2017.අප්‍රේල් 24. ඒ කියන්නේ කතානායකතුමනි ජුනි මාසේ ගංවතුරක් එන බව මෙතුමා දැනගෙන ඉඳලා තිබෙනවා. ඒ නිසා මෙතුමා සුදුසු ස්වදේශ කටයුතු අමාත්‍යංශයට නෙවෙයි ආපදා කළමනාකරණ අමාත්‍යංශයට. අර ඩොප්ලර් යන්ත‍්‍රය තියෙන්නේ ඔබතුමාගේ ඔළුවෙද කොහෙද?” අනුර දිසානායක ඇමතිවරයාගෙන් විමසා සිටියේ සියලූ දෙනා සිනාගස්වමිනි. ඉන් අනතුරුව ඇමතිවරයා කියා සිටියේ කොට්ඨාශ නීර්ණයන්ගේ ගැටලූ තිබෙන නිසා කල්තියා එම කටයුතු සැලසුම් කළ බවයි. ”නමුත් ප්‍රශ්නය තියෙන්නේ මන්ත‍්‍රීවරු මේ පත්වීම් නිර්දේශ කරන එකයි.” අනුර දිසානායක කියා සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්