ජවිපෙ මන්ත්රී වෛද්ය නලින්ද ජයතිස්ස මන්ත්රීවරයා සහන කටයුතු අතරතුරදී පාහියන්ගල ලෙන ආශ්රිත ප්රදේශයේ විපතට පත්වූ ජනතාව හමුවීමට ගියේය. ඒ වනවිටත් පාහියන්ගල ලෙන ආශ්රිත ප්රදේශය නායයෑමේ අනතුරුදායක තත්වයකට පත්ව තිබිණි. ප්රදේශයේ ජනතාව මේ පිළිබඳව මන්ත්රීවරයා හා ප්රකාශ කළේ මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීමට කුමන හෝ ක්රියාමාර්ගයක් ගත යුතු බව කියමිනි. ”මන්ත්රීතුමා ඔබතුමා දන්නවනේ මේ ලෙන කියන්නේ ඉතාම වටිනාකමක් තියෙන තැනක්. වසර 7000ක් පමණ පැරණි නූතන මානවයාගේ ඇටසැකිලි හමුවුණු තැනක්. නමුත් ඒ ස්ථානයත් දැන් අනතුරක තියෙන්නේ.” ප්රදේශවාසියෙක් කියා සිටියේය. ”ඔව්, මේක ප්රාග් ඓතිහාසික වටිනාකමක් තියෙන භූමියක්. මේක කොහොම හරි ආරක්ෂා කරගන්න ඕනෑ. මේ ප්රදේශයට අක්කර දෙකහමාරක් විතර අයත් වෙනවා. පහුගිය කාලේ නායයෑම් නිසා මේ ප්රදේශයක් දැන් අනතුරක තියෙන්නේ.” එම ප්රදේශයේ භික්ෂූන්වහන්සේලා කිහිප නමක්ද මේ පිළිබඳව පැහැදිලි කිරීම් කළහ. එම තොරතුරුත් සමඟ වෛද්ය නලින්ද ජයතිස්ස මන්ත්රීවරයා මේ පිළිබඳව පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී විෂය භාර ඇමති අකිල විරාජ්ගෙන් ප්රශ්න කළේය. නමුත් එහිදී දැනගන්නට ලැබුණේ තවමත් ඒ පිළිබඳව නිසි වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බවයි.










