“SAITM අහෝසි කරනු” යෝජනවට බියේ ඌවේ මහ ඇමති ප්‍රමුඛ සන්ධාන මැති ඇමතිවරු සැඟවෙති

“SAITM අහෝසි කරනු” යෝජනවට බියේ ඌවේ මහ ඇමති ප්‍රමුඛ සන්ධාන මැති ඇමතිවරු සැඟවෙති

ඌව පළාත් සභාවේ න්‍යායපත්‍රානුකූළව අද (09) දින සභාවේදී ඇමතිවරුන්ගේන් විමසීම සඳහා ප්‍රශ්න 03ක් සහ යෝජනා දෙකක් තිබී ඇත. සයිටම් අහෝසි කළ යුතු බවට සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා විසින් ගෙය ආ යෝජනාවක්ද ඒ අතර තිබී ඇත. ඊට මුහුණ දීමට නොහැකිව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සභ එහි මන්ත්‍රීවරු, ඇමතිවරු ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ කාමරයක සැඟවී සිට ඇති බව වාර්තා වේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර මාස ගණනාවක් වුවත් එය සභාවේ න්‍යාපත්‍රයට ඇතුළත් නොකිරීමට ප්‍රධාන අමාත්‍යවරයා බලපෑම් කරමින් සිටි ඇති අතර ඒ බව දැනගත් වෛද්‍ය සිසුන්ගේ දෙමව්පියන්, බදුල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු අවස්ථා ගණනාවකදී ප්‍රධාන අමාත්‍යවරයාත් සභාවේ මැති ඇමතිවරුන්ව වරින් වර මුණගැසී මෙම යෝජනාව සභාව තුළ විවාදයට ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව සැලසීමට කටයුතු කරන්නැයි සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාවලදී එජාප මන්ත්‍රීවරු බොහෝමයක් සෘජුවම තම මතය ප්‍රකාශ කරමින් පවසා ඇත්තේ තමන් පුද්ගලික අධ්‍යාපනය ප්‍රතිපත්තියක් ලෙස පිලි ගන්නා බැවින් මෙම යෝජනාවට සහාය ලබාදීමට නොහැකි බවයි.

කෙසේ නමුත් මහ ඇමතිවරයා, මන්ත්‍රී ෂශීන්ද්‍ර රාජපක්ෂ, මන්ත්‍රී ලීලසේන, උප සභාපති ඇතුඵ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු, ඇමතිවරු පිරිසක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට එකඟතාවය ප්‍රකාශ කර ඇත. ඒ අනුව සමන්ත විද්‍යාරත්න මහතා අද දින ඌව පළාත් සභාවේදී අදාළ යෝජනාව ගෙනඒමට සූදානමින් සිට ඇති අතර එම විවාදය නැරඹීම සඳහා පැමිණි වෛද්‍යවරු සහ වෛද්‍ය සිසුන්ගේ දෙමව්පියන් පැමිණ තිබේ.

මෙහිදී මහ ඇමතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරු ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ කාමරයකට වී දීර්ඝ කාලයක් සාකච්ඡාවක නිරතව තිබේ. සභාව පෙරවරු 10.30ට ආරම්භ වුවත් එය සභාව ආරම්භවීමට නියමිත වෙලාවට වඩා පැය භාගයක් ප්‍රමාදව ය. ඒ අනුව තුන්වෙනි වරටත් සීනුව නාදවී ඇත. එහෙන් සන්ධාන මන්ත්‍රීවරු සභාවට පැමිණ නැති අතර ඒ බව විමසීමටත් සභාවට පැමිණ මෙම යෝජනාවට සහාය ලබා දෙන ලෙස ඉල්ලීමටත් වෛද්‍යවරු කිහිපදෙනෙකු මහ ඇමතිවරයාගේ කාර්යාලයට ගොස් තිබේ. එහෙත් මහ ඇමති කාර්යාලයට ඇතුළුවීමට වෛද්‍යවරුන්ට ඉඩ ලබා දී නැති අතර පළාත් සභාවේ සභාපතිවරයාව පමණක් සභාවට එවා ඇත.

ඒ අනුව සභාවේ කටයුතු ආරම්භ කළත් ඝණපූර්ණය නොමැති බව සඳහන් කරමින් සභාව කල් තබා සයිටම් අහෝසි කිරීමට ආණ්ඩුවට බලකරමින් ගෙනා යෝජනාව ගෙන ඒම වලක්වා ගැනීම සන්ධානයේ සැලසුම වී තිබේ.

එහෙත් සභාව ආරම්භයේම නැගී සිටි ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කර ඇත්තේ අධ්‍යාපනය පෞද්ගලීකරණය ප්‍රතිපත්තියක් ලෙස පිලිගත්තද එසේ හෝ ප්‍රතිපත්තියක සිටීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට තමන් ස්තූතිවන්ත වන බවත් සන්ධාන මන්ත්‍රීවරුන්ට කිසිම ප්‍රතිපත්තියක් නොමැතිවීම සම්බන්ධයෙන් කණගාටුවන බවත් පවසා ඇත. එමෙන්ම ලංකාවේ දුප්පත්ම පළාත වන ඌව පළාත් සභාවේ ජනතාවගේ දුවාදරුවන්ට ලක්ෂ 120ක් වැනි මුදල් වියදම් කර ඉගෙන ගැනීමේ අවස්ථාවක් නොමැති බවත් තමන්ට ඡන්ද දුන් ඡන්ද දායකයන්ට සාධාරණය ඉටු කරන ලෙස තමන් මහ ඇමතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත. එමෙන්ම අද දින ඝණපූර්ණය නොමැතිව මෙම යෝජනවා ගෙනඒමෙන් පළක් නොමැති බැවින් වෙනත් දිනකට එම යෝජනාව ඉදිරිපත් කිරීමට කල් ලබාගෙන ඇත.

අද දින පළාත් සභාවට ඉදිරපත් කර ඇති අනෙකුත් යෝජනාව සහ ප්‍රශ්න තුණද ජවිපෙ මන්ත්‍රීවරුන් විසින්ම ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

විවාදය නැරඹීම සඳහා පැමිණ සිටි වෛද්‍යවරු. වෛද්‍ය සිසුන්ගේ දෙමව්පියන් හමුවේ සිදුවීමේ සැබෑ තත්වය පැහැදිලි කිරීමටද සමන්ත විද්‍යාරත්න මහතා කටයුතු කර ඇති අතර එහිදී විශේෂයෙන් වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ මෙලස ජනතාව මුලාවේ දමන මහජන නියෝජිතයින් සම්බන්ධයෙන් තේරුම් ගත යුතු බවත් මෙම තත්වය වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවත් ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්