ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙකුව සිටි වසීම් තාජුඩීන් ඝාතනය වූ දිනයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාරව සිටි ජනාධිපති ආරක්ෂක ඒකකයේ 25 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් තවත් 14 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් අද (27) අධිකරණයේදී අනාවරණය වී තිබේ.
අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ තාජුඩීන් ඝාතනය වු සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ දෛනික සටහන් පොතේ පිටු ගලවා තිබීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බවය.
ඊට අමතරව පුද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.
සිද්ධියට අදාළව ඩී.එන්.ඒ.පරීක්ෂනවලට භාජනය කළ දැනට ජින්ටෙක් ආයතනයේ තිබෙන අස්ථි කොටස් අධිකරණය භාරයේ නඩු භාණ්ඩ වශයෙන් රඳවා තැබීමට අවසර දෙන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලිමක් කර ඇති අතර අදාළ ඉල්ලීම පිළිගත් අධිකරණය එම අස්ථි කොටස් අධිකරණය භාරයේ රඳවා තැබීමට නියෝග කර තිබේ.
වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ පරීක්ෂණ වෙනතක යොමු කිරීම සහ පරීක්ෂණවලට භාධා සිදුකිරී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන මැයි මස 04 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.










