FCIDයේ ඇති ලිපිගොනු යහපාලනයෙන් පැහැරගනියි

FCIDයේ ඇති ලිපිගොනු යහපාලනයෙන් පැහැරගනියි

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට භාර දී තිබෙන වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ වංචා දූෂණ පැමිණිලි සහ පසුගිය පාලනයට අයත් බරපතල මූල්‍ය අපරාධ සම්බන්ධ පැමිණිලි ලිපි ගොනු රැසක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයන් සෘජුවම සම්බන්ධ වී අදාළ විමර්ශනවලින් ඉවත් කිරීමට ක්‍රියා කර තිබෙන බව අනාවරණය වේ.

නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගත් තීරණයක් අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශනය කරමින් පවතින ලිපිගොනු 78ක් ආපසු පොලිස්පතිවරයාට භාරදෙන ලෙස නියෝග කර ඇත. මේ වනවිට එම විමර්ශන කොට්ඨාශයට ලැබී තිබූ පැමිණිලි 75ක විමර්ශන අවසන් කොට ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇත.

තත්වය මෙසේ තිබියදී අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 මාර්තු 15 වැනි දින පැවති ආර්ථික කළමනාකරණ කැබිනට් කමිටුවේදී තවත් ලිපිගොනු රැසක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් ඉවත් කිරීමට තීන්දුවක් ගෙන ඇත.

එහිදී තීරණය වී ඇත්තේ 2015.01.08 දිනෙන් පසුව (වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව) රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන කටයුතුවලට අදාළව සිදු වූ දූෂණ පිළිබඳ පැමිණිලි මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් ඉවත්කොට ජාතික ප්‍රසම්පාදන කොමිසමට යවන ලෙසයි.

මෙයින් පැහැදිලි වන්නේ වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන කොට වැරදිකරුවන්ට දඬුවම්දීම වෙනුවට ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවයි.

බොහෝ මූල්‍ය අපරාධ සහ දූෂණ ක්‍රියා සිදුවන්නේ ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග ඔස්සේ බව දැනට විමර්ශනය කෙරෙන ලිපි ගොනුවලින් හෙළි වී තිබේ. ප්‍රසම්පාදන කොමිසමට යම් පැමිණිල්ලක් ලැබුණු පසු එය විමර්ශනය කොට කොමිසමේ නිර්දේශ අමාත්‍යාංශ ලේකම්වරයාට ලබාදීමට ක්‍රියා කෙරේ. නමුත් ඉන් එහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නැති බව හෙළි වේ.

ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා හරහා බොහෝ විට සිදුවිය හැක්කේ ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කිරීම පමණකි. අමාත්‍යාංශ ලේකම්වරයා වගකිව යුතු පැමිණිල්ලක් හෝ කරුණක් සම්බන්ධයෙන් ජාතික ප්‍රසම්පාදන කොමිසම සිය නිර්දේශ අමාත්‍යාංශ ලේකම්වරයාටම යළි ලබාදීම සිදු කෙර්.

මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ විමර්ශන සිදු කිරීමේදී මෑත ඉතිහාසයේ තරාතිරම නොබලා සෘජුව කටයුතු කිරීමේ ශක්තියක් තිබූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සතු ලිපිගොනු ක්‍රමිකව විවිධ උපක්‍රම භාවිතා කරමින් ඉන් ඉවත්කොට එම පොලිස් කොට්ඨාශය වසා දැමීම ය.

විමර්ශන ආයතනවලින් ලිපිගොනු ඉවත් කිරීම සහ එම ආයතනවලට සිදු කරනු ලබන දේශපාලන බලපෑම් පිළිබඳ ජවිපෙ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළද මේ දක්වාම ආණ්ඩුව ඒ වෙනුවෙන් පිළිතුරු සපයා නොමැති බව වාර්තා වේ.

ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn