රාමනාදන් කණ්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සේවය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (01) පස්වරුවේ පැවති අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී රාමනාදන් කණ්නන් මහතා මහාධිකරණ විනිසුරුධූරයෙන් ඉවත් කිරීම ඇතුළු යෝජනා 05ක් අධිකරණ සේවා සංගමය විසින් ඒකමතිකව සම්මත කරගෙන තිබේ.
මඩකළපුව නීතීඥ සංගමයේ සාමාජිකයෙකු වන රාමනාදන් කණ්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමේදී අනුගමනය කරනු ලැබූ වැරදි ක්‍රමවේදය, නීතීඥ සංගමයේ නිල නාමය, පුද්ගලයින් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවයන් සඳහා ව්‍යාජ ලෙස යොදැගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්ද රාමනාදන් කණ්නන් මහතාගේ පත්වීම නීතිය හමුවේ වලංගු සහ බල සහිත නිර්දේශයක් නොවන බවට තීරණය කර ඇති බැවින් ඔහුට තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව අධිකරණ සේවා සංගමය පෙන්වාදෙයි.
එම නිසා අදාළ පත්වීම අවලංගු කරන ලෙස බලකරමින් අධිකරණ සේවා සංගමය විසින් මෙසේ යෝජනා 05ක් සම්මත කරගෙන ඇති අතර අදාළ යෝජනා ජනාධිපතිවරයාට සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට ලබාදීමට තීරණය කර තිබේ.
එමෙන්ම මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයට සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයටද අදාළ යෝජනා ඉදිරිපත් කරන බවද අධිකරණ සේවා සංගමය සඳහන් කරයි.









