අට හැවිරිදි සිය දරුවාගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා තමන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළ බව HIV ආසාදිත ගනේමුල්ලේ මව පවසයි.
මේ වනවිට තම දරුවා පාසල තුළ කොන් වී ඇති බවත් මානව හිමිකම් කොමිසම සිය දියණිය වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කරයි.
දැරියගේ මව පවසන පරිදි HIV ආසාදනය සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශනය කෙරුණු දැනුවත් කිරීමේ වැඩසටහනකට ඇය සහභාගී වී ඇති අතර එය නැරඹූ ප්‍රදේශවාසීන් ඇය හඳුනා ගෙන තිබේ.
සමාජය තුළ HIV පැතිර යෑම වැළැක්වීමේ යහපත් චේතනාවෙන් තමන් ප්‍රසිද්ධියේ එම වැඩසටහනට සහභාගී වූ බව කී ඇය තමන් විසින් ගනු ලැබූ එම ක්‍රියාමාර්ගය පිළිබඳ මේ වනවිට කණගාටුවන බවද සඳහන් කර ඇත.
“සද්ද නොකර හැංගිලා ඉඳලා මගේ දරුවා බලාගත්තා නම් අදටත් මගේ දරුවා ඒ හිටපු විදිහට නිදහසේ ජීවත් වෙනවා. මේ ප්‍රශ්නත් නැහැ. මිනිස්සු මට සහ මගේ පවුලට හිනා වෙන්නෙත් නැහැ. මගේ දරුවට හිත රිදෙන දේවල් කියන්නෙත් නැහැ. දැන් ඉතින් ඒකට පරක්කු වැඩියි” යනුවෙන් ඇය ඉතා සංවේදීව ප්‍රකාශ කර තිබේ.
ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ තමන්ට එම ප්‍රදේශයේ ජීවත් වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව දැරියගේ නීත්‍යනුකූල භාරකාරත්වය දරන මවගේ ඥාතියෙකු සඳහන් කර ඇත.
“අපිට මරණ බයෙන් ජීවත් වෙන්නේ වෙලා තියෙන්නේ. දරුවයි, මමයි, බිරිඳයි විතරයි ගෙදර ඉන්නේ” යනුවෙන් කී ඔහු යම් පිරිසක් රාත්‍රියේ සිය නිවස ඉදිරිපිටට පැමිණ තර්ජනය කළ බව සඳහන් කර තිබේ.
“අනෙක් ළමයි සෙල්ලම් කරන්න එන්නේ නැහැ කියලා ළමයා කියනවා. ඔයාට තියන ලෙඩේ මොකක්ද කියලා ළමයි අහනවලු. ඇයි මට මෙහෙම කරන්නේ කියලා දරුවා අපෙන් අහනවා” යනුවෙන් සඳහන් කළ දැරියගේ භාරකරු මෙම සිදුවීමේදී රජයේ ආයතන කටයුතු කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව වැඩිදුරටත් කියා ඇත.
මූලාශ්‍ර බීබීසී










