වෛද්‍යවරුන්ගේ වර්ජනයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේත් සහාය

වෛද්‍යවරුන්ගේ වර්ජනයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේත් සහාය

මාළඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට ආණ්ඩුවට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අප්‍රේල් 03 වැනි දින සිදු කරන වැඩ වර්ජනයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පූර්ණ සහාය ලබා දෙන බව ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය  නියෝජනය කරන රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති නායකයින් රැසක් එක්ව සිටියහ.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර සිටි‍යේ මාළඹේ සයිටම් උපාධි කඩය අහෝසි කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරන වැඩවර්ජනයට රටේ දැවැන්තම වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහාය පළකරන බවත් එය නියෝජනය කරන සියලුම සෞඛ්‍ය අංශයට අයත් වෘත්තීය සමිති, විදුලිබල, වරාය, ඛණිජතෙල්, ප්‍රවාහන, දුම්රිය, තැපැල් සේවා, ජලසම්පාදන මෙන්ම පෞද්ගලික අංශයේද වෘත්තීය සමිති වැඩවර්ජනය හා එක්වන බවයි.

මාළඹේ සයිටම් උපාධි කඩයට එරෙහි සටන ජයග්‍රහණය කළ හැක්කේ සියලු බලවේග ඒකරාශී කර ගත් සටන් ක්‍රියාමාර්ගයකින් බවත් ආණ්ඩුව දණගැස්විය හැකි ප්‍රබලතම බලවේගයන් වන වෘත්තීය සමිති ව්‍යාපාරය, ගොවි ව්‍යාපාරය, ශිෂ්‍ය ව්‍යාපාරය එ්කරාශී  විය යුතු බවයි. ආණ්ඩුව තවදුරටත් කල් මරමින්, මුනිවත රකිමින් මෙම සයිටම් උපාධි කඩය අහෝසී කිරීම මඟහැර සිටීමට කටයුතු කරන්නේ නම් ආණ්ඩුවට දැනෙන තේරෙන භාෂාවෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග තේරීමට සූදානම් විය යුතු බවත් පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්