මැදපෙරදිග කලාපය අස්ථාවර කරමින් මීට වසර හතකට පමණ පෙර ආරම්භ කෙරුණු සිවිල් යුද්ධය හේතුවෙන් මේ වනවිට සිරියාව තුළ පමණක් ලක්ෂ තුනකට අධික පිරිසකට ජීවිත අහිමි වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තා හෙළිකරයි.
අයි.එස්. ත්‍රස්තවාදීන් අරාබි වසන්තය ආරම්භ කරමින් මැදපෙරදිග කලාපයේ රටවල් රැසක සිවිල් යුද්ධ ආරම්භ කළ අතර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීම සඳහා සිරියාව තුළ දැවැන්ත යුද්ධයක් ආරම්භ කළ අතර මේ වනවිට එය ජාත්‍යන්තර යුද්ධයක් බවටද පත්ව තිබේ. සිරියාව තුළ ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක් අනාථයින් බවට පත්කර ඇති මෙම යුද්ධයෙන් මිය ගිය ලක්ෂයකට වැඩි පිරිසක් යුද්ධයට කිසිඳු සම්බන්ධයක් නැති සිවිල් වැසියන් බව පැවසේ.
සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් මිලියන 13කට වැඩි පිරිසක් මේ වනවිට අනාථයින් බවට පත්ව ඇති අතර විශාල පිරිසකට මානුෂීය ආධාර අත්‍යවශ්‍යව ඇති බවද වාර්තා වේ. මේවන තෙක් සිරියානු සිවිල් යුද්ධය නිමාවන තත්වයක් දක්නට නොමැති අතර රුසියානු හා ඒකාබද්ධ හමුදා ප්‍රහාරයන් හමුවේ මේ වනවිට අයි.එස්. ත්‍රස්තවාදීන්ට බරපතළ පරාජයන්ට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වේ.
අසාද් පාලනය පෙරළා දමා තම හිතවාදී පාලනයක් සිරියාව තුළ ගොඩනගා ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව සෘජුව හා වක්‍රව මෙම සිවිල් යුද්ධයට මැදිහත්වූ අතර අසාද් පාලනයට එරෙහිව යුද වැදීම සඳහා අයි.එස්. ත්‍රස්තවාදීන්ට අවි ආයුධ ලබා දීමට කටයුතු කර ඇති බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. අරාබි වසන්තයේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ ඉතාමත් අවාසනාවන්ත, බිහිසුණු, දිග්ගැස්සුණු සිවිල් යුද්ධයක් හා ඒ තුළින් නිමා නොවන මිනිස් ජීවිත හා දේපල විනාශයක් බව මේ වනවිට සනාථ වී තිබේ.










