පසුගිය කාලය පුරාම එළවළු මිල සීඝ්‍රයනේ පහල බැස තිබුනද එහි වාසිය පාරිභෝගිකයන්ට නොලැබෙන බවත් මෙමගින් ගොවියා සහ පාරිභෝගිකයා යන දෙපිරිසම පීඩාවට පත් වන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරතන්න මහතා පවසයි. ඊයේ (29) දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.
වම්බටු, ගෝවා ඇතුළු එළවළු කිලෝවක් රුපියල් 5කට හෝ විකිණිමේ හැකියාවක් ගොවියාට නොමැති වි ගොවීන් බරපතල ලෙස අපහසුතාවයට පත් වී තිබෙනවා. ගොවියන්ගෙන් එසේ කුණු කොල්ලයට මිලදී ගන්නා එළවළු පාරිභෝගිකයන් මිලදී ගන්නේ රුපියල් 50 – 80 ත් අතර මුදලකට බවද ඒ මහතා සඳහන් කරයි. එළවලු කල්තබා ගැනීමේ හෝ නාස්තිය අවම කිරීමේ කිසිදු ක්‍රමවේදයක් හෝ ගොවියන්ගෙන් මිලදී ගන්නා එළවළු පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට බෙදාදීම සඳහා වූ ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
හානි වූ වගාවන් සඳහා ගෙවීමට නියමිත ගොවි වන්දි මුදල් මාර්තු මාසයේ සිට මාස හතරක් රුපියල් 10,000 බැගින් ගෙවන බවට ආණ්ඩුව පොරොන්දු වුවද මේ දක්වා ගෙවීම් සිදුකර නොමැති බවත් මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයේ මුදල් අළුත් අවුරුද්දට පෙර ගෙවීමට කටයුතු නොකළ හොත් ගොවියන්ට අවුරුදු කාලයේ දැඩි අපහසුතාවයකට පත් වනු ඇති බවත් ඒ මහතා පැවසීය.
දැවැන්ත සමාගම් එක්වී බඩඉරිගු මිලද පහල දමා ඇති බවත් ඒ පිළිබඳවද ආණ්ඩුවේ කිසිදු අවධානයක් යොමු නොවී ඇති බවත් ඒ මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.










