රට වැටී අැති අාර්ථික අර්බුධයෙන් බේරීම සඳහා වත්මන් අාණ්ඩුව තෝරාගෙන අැති උපාය මාර්ගය රටේ සම්පත් විකිණීම බවත් එමගින් දිගුකාලීන අාර්ථික අර්බුදය වඩාත් තීව්‍ර වනු අැති බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.
හම්බන්තොට වරාය විකිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (29) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එ් මහත් මෙම අදහස් දැක්වීය.
එහිදී අදහස් දැක්වූ එ් මහතා,
අපේ රටේ ආර්ථිකයේ කඩා වැටීම විවිධ පාර්ශ්වවලින් නිරූපනය වෙමින් තිබෙනවා. ඩොලරයට සාපේක්‍ෂව රුපියල කඩා වැටෙමින් තිබෙනවා. එක් ඩොලරයක් වෙනුවෙන් අපිට රුපියල් 154ක මුදලක් ගෙවන්න සිදුවෙලා තිබෙනවා. ඒ අනුව ආනයනික භාණ්ඩ මිල ඉහළයෑම, ඩොලර්වලින් ලබාගෙන තිබෙන ණය මුදලේ රුපියලේ අගය ඉහළ යාම මගින් ආර්ථිකයට දැවැන්ත බලපෑමක් සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම නව රැකියා බිහිවීම ඇණහිටලා තිබීම නිසා උපාධිධාරීන් ඇතුළු විශාල පිරිසක් විරැකියාවෙන් පෙළෙනවා. ඒ වගේම රටක් විදිහට පවත්වාගෙන යා යුතු අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවා අර්බුදයකට ලක්වී තිබෙනවා. මේ ආර්ථික අර්බුදයේ ප‍්‍රකාශනය ඈත ගමේ ගොවියාගේ සිට කොටස් වෙළඳපොළ දක්වා දැනෙමින් තිබෙනවා. කොටස් වෙළඳපොළ අපේ රටේ ආර්ථිකයේ හොඳම නිදර්ශනය නොවුණත් පහුගිය දවස්වලදී කොටස් වෙළඳපොළ කඩා වැටෙන ආකාරය අප දුටුවා. ඒවගේම මහ බැංකුවට ණය පොළී අනුපාතිකය වැඩි කරන්න සිදුවුණා. මෙතෙක් කාලයක් ආණ්ඩු අනුගමනය කළ ආර්ථික ප‍්‍රතිපත්තියේ ශේෂ පත‍්‍රයේ පතිඵලයට ජනතාවට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.
මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ආණ්ඩුව තෝරාගෙන තිබෙන මඟ කුමක්ද? පසුගිය දවසක මහ බැංකු අධිපතිවරයා කියලා තිබුණා, මේ වසර ඇතුළත හම්බන්තොට වරාය විකිණීමෙන් තොරව අප මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බැහැ කියලා. රටක මහ බැංකු අධිපතිවරයා එවැනි ප‍්‍රකාශයක් කරන කොට රට මහුණදී තිබෙන ආර්ථික අර්බුදය කොපමණද යන්න පිළිබිඹු වෙනවා. ඒ වගේම අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා රට විශාල ණය කන්දක හිරවෙලා ඒ අර්බුදයට මුහුණ දෙන්න රාජ්‍ය ආයතන විකිණිය යුතුයි කියලා. ඒ නිසා මේ ආණ්ඩුව රාජ්‍ය සම්පත් ස්වභාවික සම්පත් විකිණීම ආරම්භ කොට තිබෙනවා. අපේ රටේ පාලකයින් රාජ්‍ය සම්පත්, ස්වභාවික සම්පත් අලෙවි කිරීම මගින් අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ලැබුණත් එය දිගු කාලීනව ආර්ථික අර්බුදය තීව‍්‍ර කරනවා. හම්බන්තොට වරාය විකිණීම මගින් සිදුවන්නේ ඒ දෙයමයි.
මෙම විකිණීමේ කි‍්‍රයාවලිය සිදුවන්නේ අද පමණක් නොවේ. අසූවේ මැද භාගයේ සිට රාජ්‍ය හා ස්වභාවික සම්පත් විකිණීම ආරම්භ කළා. එදා ඉඳලම මේ ආණ්ඩු තෝරා ගත්තේ විකිණීම සහ ණය ගැනීමයි. පේ‍්‍රමදාස යුගයේ රාජ්‍ය සම්පත් විකුණනකොට ‘ජනතාකරණය’ වචනය පාවිච්චි කළා. මොකද, විකුණනවා කියන වචනයට ජනතා විරෝධයක් එන නිසා. ඒ කාලයේ ආණ්ඩුවට අයිති වතු ජනතාකරණය කළා. චන්ද්‍රිකා යුගයේදී විකිණීමට ප‍්‍රතිව්‍යූහගතකරණය කියන ලේබල් එක ගැහුවා. ෂෙල් ගෑස් සමාගම, තෙල් සංස්ථාව, ඔරුවල වානේ සංස්ථාව විකුණලා දැම්මා. අද රනිල් මෛතී‍්‍ර ආණ්ඩුව රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර කියන ලේබලය අලවලා සම්පත් විකුණනවා. මේ අවුරුදු 30 ඇතුළත හැම ආණ්ඩුවක්ම අනුගමනය කළේ එකම උපාය මාර්යක්.
අනෙක් මාවත තමයි ණය ගැනීම. අපේ රටේ පාලකයෝ අයි.එම්.එෆ්. එකට ලෝක බැංකුවට ආධාර සමුළුවලට ගිහින් ගුවන්තොටුපොළට එනකොට කිව්වේ ‘අපිට ණය ලබාදෙන්න ආයතන එකඟ වුණා; ඒක අපි ලබපු ලොකු ජයග‍්‍රහණයක්; ඒ ණයවලින් අපි රට ගොඩනගනවා’ කියලා. ජනතාව රවටන්න මිත්‍යා මත හදපු ඒ පාලකයෝම අද කියනවා රට අර්බුදයක හිරවෙලා කියලා. ලබාගත්තු ණයවලින් අපේ රටේ පාලකයෝ ඇත්ත වත්කම් හැදුවේ නැහැ. උතුරු මාර්ග ව්‍යාපෘතියේ කිලෝ මීටර් 265 හදන්න කියලා ණයක් ගත්තා. ඒ ණය මුදලින් කිලෝ මීටර් 1400ක් හදන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා මේ පාලකයෝ ගත්ත ණයවලින් ඇත්ත වත්කම් හැදුවේ නැහැ. ඒ වගේම ණයවලින් අපිට ඕන වත්කම් හැදුවෙත් නැහැ. ඒ නිසාම ණය ගැනීම්වලට ජනතාව වගකිව යුතු නැහැ. ආර්ථිකයේ කඩාවැටීමට වගඋත්තරකරුවෝ විය යුත්තේ තීන්දු තීරණ ගත්තු පාලකයෝ. නමුත් මේ පාලකයෝ ජනතාවට කියනවා පටි තද කරගන්න කියලා.
රනිල් මෛතී‍්‍ර ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය වෙලා තිබෙන්නේත් විකිණීම හා ණය ගැනීමයි. ඒ අනුව තමයි හම්බන්තොට වරාය විකුණන්න ගිවිසුම් අත්සන් කරන්නේ. 2017 මාර්තු 20 මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා තමන්ගේ නිරීක්‍ෂණ කැබිනට් එකට ඉදිරිපත් කළා. රජය මුහුණ පා ඇති විදෙස් මූල්‍ය ගැටලූව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ, අපේ රටේ සහ චීනයේ බලධාරීන් අතර එකඟතාවයන් මත හම්බන්තොට වරාය විකුණන බව ඔහුගේ නිරීක්‍ෂණවලින් පැහැදිලිව සඳහන්කර තිබෙනවා. එනිසා ආණ්ඩුව කියන අක්කර 15,000 කර්මාන්ත ව්‍යාපෘති, ආර්ථික උපායමාර්ග කතා බොරු. ජනාධිපතිවරයා පැහැදිලිව කියනවා අයි.එම්.එෆ්. නිර්දේශ, විදේශ මුදල් අර්බුද, දෙරටේ බලධාරින්ගේ එකඟතා අනුව තමයි මේ විකිණීම සිදුවෙන්නේ කියලා.
හම්බන්තොට වරාය හදන්න ඩොලර් මිලියන 1350ක ණයක් ගත්තා. දැන් විකුණන්න ඇස්තමේන්තු කරලා තිබෙන්නේ ඩොලර් මිලියන 1100කටයි. ණය මුදලට ඇස්තමේන්තුව සරිලන්නේ නැහැ. කාලය අවුරුදු 99ක්. ඒ වගේම වරප‍්‍රසාද ලෙස අවුරුදු 15ක සියලූ බදු සහන, විදෙස් සේවකයින් උපයන විට ගෙවන බද්ද නිදහස් කිරීම, වරාය පරිශ‍්‍රය සමඟ ඉඩම් අක්කර 1950කට ආසන්න ප‍්‍රමාණයක් ලබාදීම, ඇතුළත් වෙනවා. දකුණු කොළඹ ව්‍යාපෘතිය සහ රැුජින ජැටිය සමාගම්වලට ලබාදීමේදී ඔවුන්ට අයිති වුණේ භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ සේවා පමණයි. නමුත් හම්බන්තොට වරාය ලබාදීමේදී සියලූම සේවා සියලූම නාවික කටයුතු සමාගමට අයිති වෙනවා. විකිණීමෙන් පස්සේ වරාය තුළ කි‍්‍රයාත්මක වන්නේ ජාත්‍යන්තර නීතිය බවට තොරතුරු වාර්තා වෙනවා. අපේ රටේ නීතිය බලපාන්නේ නැහැ. රටේ ස්වෛරීභාවය, වරාය ව්‍යාපාරික කටයුතු, ඉඩම් මේ සයල්ලම තමයි ඩොලර් මිලියන 1100ට ඇස්තමේන්තු කරලා තිබෙන්නේ. අපේ රටේ පාලකයෝ ඉදිකිරීම්වලිනුත් හොරකම් කළා. රටේ සම්පත් විකිණීමේදීත් හොරකම් කරනවා.
වරාය ඇමති අර්ජුන රණතුංග රටට හෙළිකළ යුතුයි වරාය විකිණීමේ කි‍්‍රයාවලියට ඔහුගේ දායකත්වය කොපමණද කියලා. වරාය අධිකාරිය අයිති ඔහුටයි. වරාය විකිණීම පිළිබඳව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් එනවා කියලා අපිට තොරතුරු ලැබුණා. වරාය ඇමතිවරයා හෝ වරාය අධිකාරියේ සභාපතිවරයා නෙවෙයි මේ යෝජනා ගේන්නේ. රනිල්, මලික්, චරිත රත්වත්තේ, පාස්කරලිංගම් ගජ මිතුරන්ගේ ආර්ථික කමිටුව තමයි මේවා තීරණය කරන්නේ. අපේ රටේ ආර්ථික කමිටුව බ්‍රෝකර් සමාගමක්ද? එයාර් ලංකා සමාගම ගිවිසුමක් අත්සන් කරලා ගුවන්යානා මිලදී ගැනීමක් සිදුකරන්න ගියා. ඒ වෙනුවෙන් මැදිහත් වුණේ විෂය භාර ඇමතිවරයා විදිහට කබීර් හෂීම් ඇමතිවරයා නෙවෙයි. චරිත රත්වත්තේගේ ආර්ථික කමිටුවයි. විෂය භාර ඇමතිවරුන්ට තිබෙන වගකීම්, බලතල ඉක්මවා ආර්ථික කමිටුව තීන්දු තීරණ ගන්නවා.
අගමැතිවරයාගෙන් මලික් සමරවික‍්‍රමගෙන් අපි පාර්ලිමේන්තුවේදී ගිවිසුම් ගැන ප‍්‍රශ්න කළා. හැම වෙලාවේදීම ඔවුන් එකඟ වුණේ සියලූ ගිවිසුම් පාර්ලිම්න්තුවට ඉදිරිපත් කරනවා කියලා. විකිණීමේදී පවා අවම සදාචාරයක් තිබිය යුතුයි. විෂය භාර ඇමතිරයාගේ යෝජනා කැබිනට් මණ්ඩලයේ සාමූහික එකඟතා පසෙකලා ආර්ථික කමිටුව තීරණ ගන්නවා. මේ ආර්ථික කමිටුව අලෙවි කරන්නේ අපේ රටේ උපන් නූපන් දරුවන්ට අයිති සම්පත්. ඔවුන්ට එහෙම කරන්න තියෙන බලය මොකක්ද? අගමැති රනිල් වික‍්‍රමසිංහ හැම වෙලාවෙම කියන කතාව පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න ඕනැ කියන එකයි. පාර්ලිමේන්තුවේ කමිටුවල, අධීක්‍ෂණ කාරක සභාවල ගිවිසුම් සාකච්ඡුාවට ගන්නේ නැත්නම් අගමැතිවරයා කරන පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ දෙඩවිල්ල මොකක්ද? ඒ නිසා පාර්ලිමේන්තුවේ සාකච්ඡුාවකින් තොරව කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගන්න ඉඩ දෙන්නේ නැහැ.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
ඇමතිවරයා කියනවා නම් මේ වනවිට ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා කියලා අපි එයට අභියෝග කරන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහගේ ගිවිසුම් අත්සන් කිරීමේ ඉතිහාසය ගැන අපි දන්නවා. 2002 එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ගිවිසුමක් අත්සන් කරපු දවසේ අපි පාර්ලමේන්තුවේදී ඒ ගැන ප‍්‍රශ්න කළා. එදා සභානායක වි.ජේ.මු. ලොකු බණ්ඩාර කිව්වේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතිව කිසිදු ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියලා. ඒ වන විටත් රනිල් වික‍්‍රමසිංහ එල්.ටී.ටී.ඊ.යත් සමඟ ගිිවිසුම අත්සන් කරලා ඉවරයි. එනිසා ගිවිසුම අත්සන් කරලා නම් අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. නමුත් අපිට ලැබී තිබෙන තොරතුරු අනුව ගිවිසුම අත්සන් කිරීම ප‍්‍රමාද වෙලා තිබෙනවා.
2014සැප්තැම්බර් මාසයේ වරාය අධිකාරිය හා චයිනා හාබර් අතර හම්බන්තොට වරාය විකිණීමේ එකඟතාවයක් තිබුණා. එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ විකිණීමේ කි‍්‍රයාවලිය ඇතුළේ සමාගමට 65%ක් සහ ආණ්ඩුවට 35%ක කොටස් බෙදී තිබුණා. වර්තමානයේ එම අගය සමාගමට 80% ලෙසත් ආණ්ඩුවට 20% ලෙසත් බෙදී තිබෙනවා. රාජපක්‍ෂගේ විකිණීමේ තීරණයත් රනිල්-මෛතී‍්‍රගේ විකිණීමේ තීරණයත් අතර ඇත්තේ කුඩා ප‍්‍රතිශත වෙනසක් පමණයි. ඒ නිසා අපි රාජපක්‍ෂට කියනවා තමන්ගේ පහුගිය කි‍්‍රයාකාරකම් ගැන සිහි බුද්ධියෙන් මතක් කර ගන්න කියලා.
මහ බැංකු ගනුදෙනුව සම්බන්ධයෙන් පත්කොට තිබෙන ජනාධිපති විමර්ශන කොමිසම සෘජුව වගකියන්නේ ජනාධිපතිවරයාටයි. එය හා පාර්ලිමේන්තුව අතර අන්තර් සම්බන්ධයක් නැහැ. පාර්ලිමේන්තුවට වගකිව යුත්තේ කෝප් කමිටුවේ පරීක්‍ෂණයි. කෝප් කමිටුව මාධ්‍යයට විවෘත නැහැ. අද ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන මාධ්‍යයට විවෘත වී තිබීම නිසා එම කරුණු මාධ්‍ය දැනගන්නවා. මහ බැංකු ගනුදෙනුව කියන්නේ අපේ රටේ සිදුවූ දැවැන්තම ගනුදෙනුවක්. ජනවාරි 08වැනිදා පැවති ආණ්ඩුව බිඳවැටුණේ වංචා-දූෂණ, අක‍්‍රමිකතා නිසයි. නව ආණ්ඩුව පත්කළේ වංචනිකයන් දූෂිතයන් අත්අඩංගුවට ගැනීමත් විමර්ශනය කොට ඔවුන්ට දඬුවම් ලබාදීමත් දේපොළ නැවත පවරා ගැනීමත් අරමුණින්. ඒ නිසාම රජයේ නිලධාරීන් අපිට වංචා-දූෂණ පිළිබඳව තොරතුරු ගෙනත් දුන්නා. අපි ඒවා නීතිඥ මණ්ඩලයකට යොමු කරලා අදාල ආයතනවලට පැමිණිලි කළා. ජනතාව බලාපොරොත්තු වුණේ දූෂිතයින්ට දඬුවම් ලබාදී දේපොළ පවරා ගැනීමටයි. නමුත් අරලියගහ මන්දිරයේ සැලසුම වුණේ මහා වංචාවක් සිදුකිරීමයි. ජනවාරි 10 ආණ්ඩුව පිහිටුවලා දින 50ක් ගතවෙන්නත් කලින් මහා වංචාවක් සිදුවුණා. මෙමගින් දැවැන්ත මූල්‍යමය පාඩුවක් සිදුවුණා වගේම එහි දේශපාලනය පිළිබඳවත් විශේෂ අවධානයක් සිදුවෙලා තිබෙනවා. එය බරපතලයි. එනිසා විධිමත් පරීක්‍ෂණයක් සිදුකර දඬුවම් ලබාදිය යුතුව තිබෙනවා.
අපේ රටේ විවිධාකාරයේ දූෂණ තිබෙනවා. හොරකම් කරපු දේපල තිබුණට හොරා නැහැ. හොරා හිටියට දේපොල නැහැ. නමුත් මහබැංකු වංචාවේ හොරා, අර්ජුන මහේන්ද්‍රන් ඉන්නවා. හොරකම් කළ දේපල වූ බෑනාගේ සමාගමත් තිබෙනවා. නමුත් දඬුවම් නැහැ. මේක මහ දවල් මංකොල්ලයක්. අගමැති ඇතුළු ඔහුගේ මන්තී‍්‍ර කණ්ඩායම හොරකම වහන්න දැඩි උත්සාහයක් ගත්තා. එෆ්.සී.අයි.ඞී.ය බ‍්‍රයිබරි කොමිසම, ඇතුළු සියලූ ආයතන අඩපණ කළා. ඒ නිසා තමයි එය කෝප් කමිටුවට එන්නේ. නමුත් එය කෝප් කමිටුවට අදාල ප‍්‍රශ්නයක් නෙවෙයි. එජාප මන්තී‍්‍ර කණ්ඩායම කෝප් කමිටුවත් අඩපණ කරන්න උත්සාහ කළා. මේ සියල්ලෙන් පසුව තමයි ජනාධිපති විමර්ශන කොමිසම එන්නේ. එමගින් ජනතාව අතරට මේ සාකච්ඡාව ගියා. මෙම ගනුදෙනුවේ බරපතලකම නිසාම කොමිසමේ විනිසුරුවරුන් තමන්ට ආරක්‍ෂාව ඉල්ලා සිටියා. එය සාධාරණයි. මෙම ගනුදෙනුව ආරක්‍ෂා කරන්න රාජ්‍ය මැදිහත් වන නිසාම කොමිසමේ විනිසුරන්ට තර්ජනයක් මතුවිය හැකියි. කොප් එක අඩපණ කරන්න උත්සාහ කළා වගේම ජනාධිපති විමර්ශන කොමිසමට මැදිහත් වීමට බලාපොරොත්තුවෙන් ආරක්‍ෂාව නොසපයා ඉන්න ඕන කියලත් සැකයක් තිබෙනවා. අපේ රටේ පොලිස්පතිවරයා ආරක්‍ෂාව ඉල්ලා සිටියදී ආරක්‍ෂාව සපයන්නේ නැත්නම් අපිට සාධාරණ සැයකයක් මතුවෙනවා පොලිස්පතිවරයාත් වංචනිකයන් ආරක්‍ෂා කරන පැත්තේද කියලා.
අපේ රටේ වංචනිකයන් ආරක්‍ෂා කිරීමේ විවිධ කි‍්‍රයාමාර්ග කි‍්‍රයාත්මක වෙලා තිබෙනවා. උසාවි කාර්යාල ගිණි තැබීම්, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ගිණි තැබීම්, සතොස ගිණි තැබීම් වැනි දේවල් සිදුවුණා. ඒවගේම ජනාධිපති විමර්ශන කොමිසමේ කාර්යාලයටත් එවැනි දෙයක් වෙන්න පුළුවන්. එනිසා එම ස්ථානයට සහ එහි පුද්ගලයින්ට ආරක්‍ෂාව ලබාදිය යුතුයි.
අපේ රටේ නීතිය කි‍්‍රයාත්මක වීම වලව්වේ හාමුලාට එක විදිහකටත් වලව්වේ හාමුලාට සේවය කරන කොල්ලාට තව විදිහයකුත් බව විමල් තේරුම් ගත යුතුයි. නමුත් හොරෙක් අත් අඩංගුවට ගත්තාම ඒ හොරාට තර්ක කරන්න බැහැ, තවත් හොරු එළියේ ඉන්නවා කියලා. විමල්ට කියන්න තියෙන්නේ කුම්බලා මාළු කෑවානම් විඳවාපං බළලෝ කියලයි.
මේ අවස්ථාවට ජවිපෙ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත‍්‍රී නීතිඥ සුනිල් වටගල මහතාද සහභාගි විය.










