මහින්දට එරෙහි නඩුව මැයි 23

පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ කටයුතු සඳහා ලබාගත් බස් රථ වෙනුවෙන් ලංගමට ගෙවිය යුතු රුපියල් මිලියන 142 කට අධික මුදලක් නොගෙවූ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව කැඳවීම කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් ලබන මැයි 23 වැනිදාට කල්තබන ලදී. නඩුවේ වගඋත්තරකරුවන් කිහිපදෙනෙක් ඊයේ (28) අධිකරණය හමුවේ පැමිණිල්ල සංශෝධනය කිරීමට එරෙහිව විරෝධතා ගොනු කළේය.

නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ සුසිල් ප්‍රේමජයන්ත් වෙනුවෙන් විරෝධතා ගොනුකිරීමට දින ලබා දෙන ලෙස නීතිඥවරු ඊයේ (28) අධිකරණයන් ඉල්ලා සිටියහ.

විරෝධතා ගොනුකිරීම සඳහා විනිසුරුවරයා විසින් නඩුව යළි කැඳවීම එසේ කල්තබන ලදී.

පසුගිය මැතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් අනුරාධපුරයේ පැවැති ආරම්භක රැලියේ සිට අවසන් රැලිය දක්වා පිරිස් ප්‍රවාහනයට මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ඉල්ලීම මත මෙම බස් රථ යෙදවූ බවත්, ඒ සඳහා ලැබිය යුතු ඉහත මුදල ලබාගැනීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

Facebook
Twitter
LinkedIn