නීති විරෝධී ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබා ගැනීමේ සහ ප්‍රවාහනය කිරීමේ චෝදනා යටතේ මාස නවයක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට දකුණු පළාත්බද මහාධිකරණ විනිසුරු මොහාන් සෙනෙවිරත්න මහතා පසුගිය 23දා නියෝග කර තිබේ.
මෙසේ ඇප මත මුදාහැරියේ ජෙනලි ගාවලොබ් නමැති 49 හැවරිදි යුක්රේන් ජාතික කපිතාන්වරයෙකි.
හෘද රෝග විශේෂඥ වාර්තාව සැලකිල්ලට ගෙන මෙසේ ඇප නියම කර ඇති අතර ඒ අනුව රුපියල් ලක්‍ෂ පහළොවක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ සියය බැගින් වූ ශරීර ඇප දෙකක් මත කපිතාන්වරයා මුදාහැරීමට නියෝග කර ඇත.
සතියේ සෑම ඉරු දිනකම කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටද වැඩිදුරටත් නියෝග කර තිබේ.
ඇපකරුවන් දෙදෙනා සැකකරුගේ සේවාදායකන් වන සිලෝන් ෂිපින් සමාගමේ හෝ ඇවන්ගාඩ් වෙරිටයිම් සර්විස් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු විය යුතු බවටත් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් ලක්‍ෂ සියයකට වඩා වත්කම් ඇති බවට තක්සේරු වාර්තාවක්ද ඉදිරිපත් කළ යුතු බවත් නියෝග කර ඇත.
ඊට අමතරව සැකකරු දිවයිනෙන් බැහැරව යෑම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාටත් සියලුම අනුමත වරායන්හි කාර්ය භාර නිලධාරීන්ටත් දන්වා යැවීමටද නියෝග කර ඇති විනිසුරුවරයා සැකකරු ගාල්ල දිස්ත්‍රික්කයෙන් පිටතට යන්නේ නම් ඒ සඳහා මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ගත යුතු බවදට නියෝග කර තිබේ.
නීති විරෝධී ගිනි අවි ප්‍රවාහනය කරමින් සිටියදී 2015 ඔක්තෝබර් 5 වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඇවන්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලදී. ඒ අනුව කරන ලද පරීක්‍ෂණවලදී ටී. 56 ගිනි අවි 559ක්, 84 එම් වර්ගයේ ගිනි අවි 264ක්, උණ්ඩ 2,04,604ක්, එල්.එම්.ජී. ගිනි අවි දෙකක් සොයා ගෙන තිබිණි.










