ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා13 වැනිදා වැල්ලවායේ පැවති මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාසලාභීන් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය හා වැල්ලවාය රෝහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය සඳහා ඌව පළාත් සභාව කෝටියකට අධික මුදලක් වෙන්කර තිබුණද ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් විම හා බලපෑමි මැද එම උත්සවය ද්විත්වයම රුපියල් පනස් පන්ලක්ෂ පනස් දහසකට (රු. 550,000) ආසන්න මුදලකින් පැවැත්වීමට පළාත් සභාවට සිදු වු බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
අසීමිත මුදල් නාස්තියකින් උත්සව පැවැත්වීම පිළිබඳව ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන තමන් හා මොනරාගල දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ආර්.එම් ජයවර්ධන මහතා දැඩිව දෝෂදර්ශනයට ලක් කර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරීන් හටදැවැන්ත බලපෑමක් එල්ල කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙලෙස නව ඇස්තමේන්තුවක් සකස් කළ බවත් විද්‍යාරත්න මහතා තවදුරටත් කියා සිටියේ ය.
මෙම ඇස්තමේන්තුවද අධික බවත් මීටත් වඩා අඩු මුදලකින් මෙම උත්සව පැවැත්වීමට තිබුණු බවත් කී විද්‍යාරත්න මහතා මෙම උත්සව සඳහා වැය වූ මුදල් පිළිබඳ සකස් කළ වාර්තාවක්ද ඉදිරිපත් කළේ ය.
එම වාර්තාව අනුව ඔප්පුලාභීන් සඳහා ආරුක්කු වේදිකාව සවි කිරීම සඳහා රුපියල් විසිනවලක්ෂ අසූඑක්දහස් එකසිය පහලොවක් (රු. 2,981,115)ද ඔප්පුලාභීන්ට හා නිලධාරීන්ට සංග්‍රහ වියදම් සඳහා රුපියල් එකොලොස්ලක්ෂ අනූහයදහසක් (රු. 1,196,000)ද ඔප්පුලාභීන් ප්‍රවාහන වියදම් අට ලක්ෂයක්ද (රු. 800,000)ද වැල්ලවාය රෝහලේ උත්සවයේ සංග්‍රහ කටයුතු සඳහා ලක්ෂ හතරක් (රු. 400,000)ද තොරණ සඳහා රුපියල් ලක්ෂයක් (රු. 100,000)ද පෝස්ටර් වියදම් සඳහා රුපියල් හතලිස් දහසක් (රු. 40,000)ද මල් සැරසිලි සඳහා රුපියල් විසිපන්දහසක් (රු. 25,000)ද ලෙස රුපියල් පනස්පන්ලක්ෂ හතලිස් දෙදහස් එකසිය පහලොවක් (රු. 5,542,115) වැය වී ඇත.
කෙසේ නමුත් තම හෙළිදරව්ව හා බලපෑම මත රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් රටට ඉතිරි කිරීමට හැකි වූ බවද සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කරයි.











