හම්බන්තොට වරාය විකිණිමට කැබිනට් අනු කමිටුවක්

හම්බන්තොට වරාය විකිණිමට කැබිනට් අනු කමිටුවක්

හම්බන්තොට වරාය චයිනා මර්චන්ඩ් සමාගමට පැවරීමට අදාළ ගිවිසුම ඊයේ (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතත් එහිදී වාරය හා නාවික අමාත්‍යාංශයෙන් මතු වූ විරෝධතා සළකා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් අනු කමිටුවක් පත් කර ඇත.

මිට පෙර මේ සඳහා ගිවිසුමක් සකස් කළද ඊට වරාය සේවක වෘත්තීය සමිති, වෙනත් වෘත්තීය සමිති, ජනතාව, දේශපාලන පක්ෂ තුළිනුත් එල්ල වූ විරෝධතා හේතුවෙන් එයට වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයද කැබිනට් මණ්ඩලයේදී විරෝධය දැක් වූ අතර එම ගිවිසුම හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය. පසුව එය සංශෝධනය කර මෙම ගිවිසුම සකස්කර යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර  ඇත.

කෙසේ නමුත් ඊයේ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් වැඩබලන ඇමතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයට සහභාගී වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මෙම ගිවිසුමටද සිය අමාත්‍යාංශයේ විරෝධතාවය සටහන් කිරීම නිසා කැබිනට් මණ්ඩලයට ඊයේ දිනයේද මෙම ගිවිසුම අනුමත කිරීමට හැකි වී නැත.

එම විරෝධතා සලකා බලමින් මෙම ගිවිසුම සම්බන්ධයෙන් නැවත සළකා බැලීමට විශේෂ ව්‍යාපෘති ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් කැබිනට් අනුතමිටුවක් පත් කර ඇති අතර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, ෆයිසර් මුස්තාපා, අර්ජුන රණතුංග යන ඇමතිවරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

ඊයේ ඉදිරිපත් කළ ගිවිසුම අනුව චයිනා මර්චන්ඩ් සමාගමට හම්බන්තොට වරායෙන් 80%ක් කොටස් පැවරෙන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඉන් 20%ක කොටස් හිමිකාරිත්වයක් පැවරෙනු ඇත.

මෙම ගිවිසුමේ වගන්ති අනුව සංකූලතා රැසක් මතුව ඇති බැවින් මෙය ක්‍රියාත්මක කරන්නේනම් නව අනපනත් අවශ්‍ය බවත් වරාය අධිකාරි පනත සංශෝධනය ලක් කිරිමට සිදුව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn