අනුර දිසානායකලා වගේ 25ක් වත් මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි

අනුර දිසානායකලා වගේ 25ක් වත් මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි

ජනතා විමුක්තිපෙරමුණේ නායක, විපක්ෂයේ සංවිධායක අනුර දිසානායක මහතා කටයුතු කරන ආකාරයට කටයුතු කරන තව 25දෙනෙක්වත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු යැයි ප්‍රසිද්ධ ව්‍යාපාරික කිෂූ ගෝමස් මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසන්නේ මව්බිම පුවත්පතේ යං අතිරේකය සමග සංවාදයට එක් වෙමිණි.

එම සංවාදයෙන් උපුටාගත් කොටස් කිහිපයක් පහතින් පල වේ.

2014 Chat එකේදි ඔබ මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඇහුවා තව කොච්චර කාලයක් බලයේ ඉන්නවද කියලා. දැන් ඔහු බලයේ නැහැ. මොකද හිතෙන්නේ?

ඔහු දිගටම බලයේම ඉඳියි වගේ හිතුණු නිසයි මම එහෙම ඇහුවේ. මට ඔහු බලයේ නැති වීම ගැන විශේෂ සතුටක් නැහැ. දැන් ඉන්න අයත් මුලින් බලයේ දිගමට රැඳී ඉන්න අවශ්‍ය නැහැ කිව්වට දැන් ඒ අයත් වැට උඩ ඉන්න ඉවක් තමයි පේන්නේ. දැන් අගමැතිතුමාගෙ ඉලක්කය මොකක්ද කියලා අහපුවාම මොකක්ද කියන්නේ? බලයේ ඉඳීමලු ඉලක්කය. මේ කතාවෙන් තේරෙනවා බලයට එන සියලුම දෙනාගේ ඉලක්කය බලයේ ඉඳීමයි කියන එක. මම අගමැතිතුමාගෙන් අහන්න කැමතියි ඇයි කලින් කියපු කතා දැන් වෙනස් කරන්නේ කියලා.

ඒ කියන්නේ බලයේ සිටින වත්මන් පිරිසට කැමති නැද්ද?

අපෝයි නැහැ. අද තියෙන දේශපාලන තත්වය තමයි ලංකා ඉතිහාසයේ තිබුණු නරකම තත්වය. ආර්ථිකය පැත්තෙන් ගත්තොත් ස්ථාවර නැහැ. පැහැදිලි ඉලක්ක නැහැ. රට කොහෙද යන්නේ කියලා පේන්නේ නැහැ. ප්‍රශ්නවලට විසඳුම් හොය හොයා ඉන්න බවක් විතරයි පේන්නේ.

සතුට කියන්නේ මොකක්ද?

සතුට කියන්නේ මිනිස්සු තමන්ගේ ජීවිත කාලය තුළ බලාපොරොත්තු වන අවසාන ඉලක්කයට. අපි හැමෝම හැම දෙයක්ම කරන්නේ සතුට වෙනුවෙන්. අපි කරන හැම සාර්ථක දෙයකම ප්‍රතිඵලය සතුට විය යුතුයි. අපි අසතුටයි කියන්නේ අපි සාර්ථක නැහැයි කියන එක.

මේ රටේ මිනිස්සු සතුටින්ද?

අපෝ ඔව්. තුන්වේල කන්න නැතත් හරියට අඳින්න පලඳින්න නැතත් ඔවුන් සතුටින්. අර Index එකේ දාලා තියෙන්නේ ලාංකිකයෝ සතුටින්ම ඉන්න ජාතියක් කියලා. ඔවුන් සතුටින් ඉන්නේ ඔවුන්ට Choice එකක් නැති නිසයි. එයාලා ඉන්නේ අසතුටින් කියන දේ තේරුම් ගන්න පුළුවන් විදියේ බුද්ධියත් එයාලට තිබුණා නම් ඔය දේශපාලනඥයෝ කියන අය එක්කෙනෙක්වත් අද බලයේ නැහැ.

සොබාදහම සහ බිස්නස්, මේ දෙක අතර සහසම්බන්ධයක් තියෙනවද?

සහසම්බන්ධයක් අනිවාර්යයෙන්ම කියෙනවා. මුළු ලෝකයේම තියෙන ව්‍යාපාර බැලුවම ඒවායින් සොබාදහමට අයහපත් බලපෑමක් ඇති වෙනවා. පරිසරයට හානි නොවන කිසිම බිස්නස් එකක් නැහැ. මනුෂ්‍ය පැවැත්ම පවා සොබාදහමට හානිකරයි. ව්‍යාපාර නිර්මාණය වෙන්නේ මානව අවශ්‍යතා සම්පූර්ණ කරන්න. මේ දෙපාර්ශවයේම වගකීමක් සහ යුතුකමක් තියෙනවා තමන්ගේ අරමුණුවලට යද්දී සොබාදහමට වන හානිය අවම කරගෙන ඒ දේවල් කරන්න.

ඔබ කේන්දර බලන්නේ නැද්ද?

මම බලන්නේ නැහැ. මගේ බිරිඳ මගේ සහ දරුවන්ගේ බලනවා. මම ඇයට කියලා තියෙන්නේ කේන්දරේ හොඳ හෝ නරක මොනවා තිබ්බත් මටනම් කියන්න එපා කියලා. කේන්දර බැලුවම වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. නරක නම් කියන්නේ ඒ ගැන හිතලා හිතලා මානසිකව හා කායිකව දුර්වල වෙනවා. හොඳම නම් තියෙන්නේ ආ දැන් සේරම හරි කියලා රිලැක්ස් කරනවා. ජීවිතේට ඔය දෙකම අනවශ්‍යයිනේ. මම විශ්වාස කරන දේ තමයි අපිට යමක් ලබාගන්න වාසනාව තිබුනත් නැතත් උත්සාහයෙන් ඒ දේ ලබාගන්න පුළුවන් කියන දේ. අඩුම ගාණේ ඒ උත්සාහයේදී අපිට අවසාන ප්‍රතිඵලයම නොලැබෙන්න පුවවන්. ඒක මේ ඉන්නවාට වඩා හොඳ වෙන්න පුළුවන්. මම ඒ දේ කරපු නිසයි සාර්ථක වුණේ.

එදා කිව්වා සජිත් ප්‍රේමදාසටයි අනුර දිසානායකටයි ඔබ කැමතියි කියලා. ඒ කැමැත්ත තාම එහෙමද?

සජිත් ප්‍රේමදාස එදා හිටපු තැනින් එහාට පියවරක් තැබුවා කියලා මම හිතන්නේ නැහැ. ඔහු එක තැනක හිරවෙලා කියලා මට හිතෙනවා. අනුර දිසානායක යම් දෙයක් ගැන සන්නිවේදනය කරද්දි ඒ ගැන හදාරලා තර්කානුකූලව කතා කරනවා. ඒ හැකියාව එදාට වඩා අද වැඩි වෙලා කියන එක පේනවා. මම නම් කියන්නේ අනුර දිසානායක වගේ 25ක් වත් මේ පාර්ලිමේන්තුව තුළ සිටිය යුතුයි කියලයි.

Facebook
Twitter
LinkedIn