අදින් වසර පන්දහස් පන්සියයකට (5550) පෙර බළන්ගොඩට ආසන්න පනාන මැද්දෙකන්ද ප්‍රදේශයේ අළු ගල්ලෙනෙහි ජීවත්වූ මානවයන්ගේ දරුවන්ගේ යැයි සැලකෙන දත් කිහිපයක් මීට දින කිහිපයකට පෙර (16) හමුවී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පුරාවිද්‍යා අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන කෙළේ මේ දිනවල බළන්ගොඩට නොදුරු පනාන අළුගල්ලෙනෙහි කෙරෙන කැණීම්වලින් හමුවූ පුරා වස්තු පිළිබඳ අදහස් දක්වමිනි.
මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් දසදෙනෙක් මෙම කැණීම් කටයුතුවල නිරතව සිටිති.
හමුවූ දත් මෙරට දන්ත විශේෂඥ වෛද්‍යවරු මේ ස්ථානයට පැමිණ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඒවා නියත වශයෙන්ම වයස අවුරුදු එකහමාරේ සිට වයස අවුරුදු දොළහ දක්වා දරුවන්ගේ දත් බව තහවුරු කළ බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කෙළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ් සෝමදේව මහතා කියා සිටියේ මේ ගල්ලෙනෙහි ජීවත්වූ දඩයක්කාර මානව ප්‍රජාව ඉතා උසස් බුද්ධි මට්ටමක සිටි බවට හමුවන පුරා වස්තුවලින් සනාථ වන බවත් ගල්ලෙනේ පුලුස්සන ලද මැටිබෝල, මැටිවලින් යම්කිසි නිර්මාණ සකස් කිරීමට ගත් උත්සාහයන් තිබෙන බවත් එම නිර්මාණ සුදු පැහැයෙන් වර්ණ ගන්වා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කෙළේය.
මීට පෙර කරන ලද කැණීම්වලදී මේ ගල්ලෙනේ තිබී එහි ජීවත්වූ මානවයන් භාවිත කළ සන්නිවේදන සංකේත ආදිය හමුවී තිබිණි.
පසුගිය වසරේ මේ ගල්ලෙනෙන් හමුවූ මෝර දත් ඇතුළු පුරාවස්තු ඇමෙරිකාවේ ෆ්ලොරීඩා විද්‍යාගාරයට යවා කාල නිර්ණය කිරීමෙන් අනතුරුව ඒවා නිසැක වශයෙන්ම වසර පන්දහස් පන්සියයකට වඩා වැඩි බව තහවුරු වී තිබිණි.
මේ හමුවී ඇති මිනිස් දත් චාරුක හා පුරශ්චාර්වක දත් බවට දන්ත විශේෂඥන් හඳුනාගත් බවත් ඒවා දරුවන් හතර දෙනකුට අයත් ඒවා බව තහවුරු වී තිබූ බවත් මහාචාර්යවරයා කියා සිටියි.










