ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ එතෙර අපි සංවිධානය විසින් විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් දිනාගැනීමේ අරමුණෙන් විදේශයන්හිදී සම්ළු මාලාවක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ.
එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, ජාතික සංවිධායක සංජීව මුණසිංහ, ලේකම් ලක්ෂ්මන් නිපුණආරච්චි, භාණ්ඩාගාරික නීතිඥ ජානක අධිකාරි ඇතුළු ජාතික විධායක සභාවේ සාමාජිකයින් පසුගිය සතියේ රැස්වී මෙම තීරණ ගෙන ඇත.
මෙමම සාකච්ඡාවේදී විශේෂයෙන් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය, විශ‍්‍රාම වැටුප, දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම ඇතුළු ගැටලු ගණනාවක් පිළිබඳව සාකච්ඡාවට ලක්වී තිබේ.
විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය ලබාදීම පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සමාජිකයෙක්ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඒ සම්බන්ධයෙන් වත්මන් තත්වය පිළිබඳව සංවිධානයේ ජාතික කමිටු සාමාජිකයින්ට සමාලෝචනයක් ඉදිරිපත් කර මින් පවසා ඇත්තේ “අපි පාර්ලිමේන්තු කමිටුවට විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්, ආගමන විගමන පාලක, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලේකම් ඇතුළු අදාල බලධාරීන් කැඳවලා තියෙනවා. ඒ සාකච්ඡාවලදී හැමෝම ආපු එකඟතාවයක් වුණේ විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට ඡන්දය ලබාදීමට යාන්ත‍්‍රණයක් සකස් කිරීමයි. දැනට විදේශ ගතව රැකියා කරන, රැකියා කරන රටේ පුරවැසිභාවය ලබාගෙන ඒ රටවල්වල ඡන්ද අයිතිය තියෙන පුද්ගලයින්ට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉදිරියේ පැවැත්වෙන පළමු ජාතික මැතිවරණයකදී විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට ඡන්දය පාවිච්චි කරන්න යාන්ත‍්‍රණයක් හදන්න කමිටුව කටයුතු කරමින් ඉන්නවා.” යනුවෙනි.
“අපි අපේ සංවිධානය හැටියට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කළා විදෙස්ගත ශ‍්‍රමිකයින්ට විශ‍්‍රාම වැටුපක් ලබාදිය යුතුයි කියලා. නමුත් ආණ්ඩුව ඒ ගැන තවමත් කිසිම අවධානයක් යොමු කරලා නැහැ. ඒ විතරක් නෙවෙයි විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ගේ ළමයි පාසල්වලට ඇතුළත් කරන්න ගියාම ලොකු දුෂ්කරතාවලට ඔවුන් මුහුණ දෙනවා. ඒකට විධිමත් වැඩපිළිවෙළක් හදන්න ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. මේ වගේ ප‍්‍රශ්න ගොඩක් තියෙනවා ආණ්ඩුවේ අවධානය යොමු කරන්න ඕනා” යනුවෙන් එහිදී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ප්‍රකාශ කර ඇත.
“අපි දැනට එතෙර අපි සංවිධාන පිහිටුවලා තියෙන රටවල්වල සමුළු මාලාවක් තියමු. ඒ රටවල්වල ඉන්න ශ‍්‍රී ලාංකිකයින් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා අයිතීන් දිනාගන්න ඉදිරි ක‍්‍රියාමාර්ගවලට සූදානම් කරන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි අපේ සංවිධානය පිහිටුවලා නැති රටවල්වල එතෙර අපි සංවිධානයේ ශාඛා පිහිටුවන්න ඕනෑ.” සුනිල් හඳුන්නෙත්ති මහතා යෝජනා කර ඇත. එම යෝජනාවට අනුව මාර්තු අප්‍රේල් මාසවලදී මුල් අදියරේදී කැනඩාව, ප‍්‍රංශය, ඩුබායි, අබුඩාබි, කුවේට්, ඉතාලි යන රටවල්වලදී සමුළු මාලාවක් පැවැත්වීමටත් දෙවන අදියරේදී ජපානය, කොරියාව, කටාර්, මාලදිවයින ඇතුළු රටවල් ගණනාවකදී සමුළු පැවැත්වීමට තීරණය වී තිබේ. එම සමුළු ඇමතීම සඳහා ජවිපෙ නායක අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක් ඉදිරි දිනවලදී විදෙස්ගතවීමටද නියමිතය.









