ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හවායි ජනපදයේ අධිකරණය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නව ගමනාගමන තහනම් නියෝගය අත්හිටුවමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස ගමනාගමනය තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීම සිදු කරන බව ට්‍රම්ප් පාලනය තර්කයක් ඉදිරිපත් කර ඇති අතර එය විවාදයට තුඩු දෙන කරුණක් බව අධිකරණය අවධාරණය කර තිබේ.
හවායි අධිකරණය නිකුත් කළ නියෝගය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එය පූර්වාදර්ශ රහිත එමෙන්ම උපක්‍රමික අධිකරණමය මඟහැරීමක් ලෙසය. එසේම මෙම නියෝගය ඇමෙරිකාවේ දුබලකමක් පෙන්නුම් කරන්නක් ලෙස පෙනී යන බවත් තමන් මෙම තහනම සක්‍රීය කර ගැනීම සඳහා යා යුතු උපරිම දුර ගමන් කරන බවත් අවශ්‍ය නම් සුප්‍රීම් උසාවිය තෙක් ගොස් එය ජයගැනීමට තමන් සූදානම් බවත්ය.
කෙසේ වෙතත් ට්‍රම්ප් ජනාධිපතිවරයා මුස්ලිම් ජාතිකයින් ඇතුළු සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් අනුගමනය කරන දැඩි පිළිවෙතට එරෙහිව ජාත්‍යන්තරව මෙන්ම ඇමෙරිකානුවන්ගෙන්ද බලවත් විරෝධයක් එල්ල වෙමින් පවතී.









