සයිටම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාට වෙඩි තැබීමේ සිදුවීමට මේ වනවිට සති දෙකකට වැඩි කාලයක් ගතවී හමාරය. එම සිදුවීම පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තා දෙස බැලීමේදී මෙම සිදුවීම සැලසුම් සහගතව සිදුකරගත් දෙයක් බවට සැක කළ හැකි කරුණු වාර්තා විය. අදාළ නිලධාරියා විසින් පොලිසියේ බුද්ධි අංශ නිලධාරියෙකුට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවටද කතාබහක් ඇතිවී තිබේ.
එමෙන්ම වෙඩි තැබීමට පෙර රථයේ වීදුරුවට ගලකින් ගසා ඇති බවටත් අදාළ නිලධාරියා රියදුරු අසුනේ සිටියේ නම් අනිවාර්යෙන්ම වෙඩි ප‍්‍රහාරයට ලක්විය යුතු බවටත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එමෙන්ම සිදුවීමෙන් පසුව අදාළ නිලධාරියා විදෙස්ගතවීමත් ගැටලු සහගත කරුණක් විය. මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23/2 යටතේ ප‍්‍රශ්න කිරීමට ජවිපෙ නායකයා කටයුතු කළේ මෙම තත්වයන් සැලකිල්ලට ගෙනය. ඒ පසුගිය 22වෙනිදා පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීය. කෙසේ නමුත් විෂයභාර අමාත්‍යවරයා එම ප‍්‍රශ්නයට පිළිතුරුදීම සඳහා තමන්ට කල් ලබාදෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙම සංවාදය යන අතරතුරදී බිමල් රත්නායක කියා සිටියේ “ඉලක්කය හරිගිය නිසා තමයි නිලධාරියා බේරුණේ. ඉලක්කය වැරදුනානම් වෙඩි වදින්න තිබුණා” යනුවෙනි.
මේ අතර මෙම වෙඩිතැබීම පිළිබඳව සිදුවන පරීක්ෂණ යටගැසීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවට සැක පහළ වන කරුණුද සාකච්ඡා වෙමින් තිබේ. “මුල්ලේරියාවේ පොලිසියට මේ පරීක්ෂණ ගැන දේශපාලන බලපෑම් එල්ල වෙනවලු.” විජිත හේරත්ට මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කියා තිබුණේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමකට ඇමතුමක් ලබාගත් අවස්ථාවේදීය.
මේ අතර අදාළ සිදුවීමට මුහුණ දුන් නිලධාරියා පසුගිය 22වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයට පැමිණියේය. ඔහු විමසා සිටියේ පක්ෂ නායක අනුර දිසානායක හමුවීම සඳහා පැමිණි බවයි. නමුත් එදින පාර්ලිමේන්තු දිනයක් බැවින් අනුර දිසානායක හමුවීමට නොහැකි වූ අතර ඔහු විසින් සකස් කළ ලිපියක් කාර්යාලයට භාරදී පිටත්ව ගියේය.










